අභියාචනයත් ප්‍රතික්ෂේප වූ ශෂී වීරවංශ - නඩුවේ සම්පූර්ණ විස්තරය මෙන්න

අභියාචනයත් ප්‍රතික්ෂේප වූ ශෂී වීරවංශ - නඩුවේ සම්පූර්ණ විස්තරය මෙන්න

June 11, 2026   09:11 pm

අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ වසර දෙකක සිර දඬුවම හා දඩයට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය අද (11) ප්‍රතික්ෂේප කළේය.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සඳහන් කළේ අභියාචක විත්තිකාරියට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් තීන්දුව ස්ථීර කරන බවය. 

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට 2022 වසරේ මැයි මස 27 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරදකරු කරනු ලැබීය.

එහිදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඇයට වසර දෙකක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කළේය.

අනතුරුව එම තීන්දුවට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය කොළඹ මහාධිකරණයේ අභියාචනයක් ගොනුකළේය.

දීර්ඝ කාලයක් සිදු කෙරුණු එම අභියාචනා විභාගයෙන් අනතුරුව අද දිනයේ තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සඳහන් කළේ අභියාචක විත්තිකාරියට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව ස්ථීර කරන බවය. 

"විත්තිකාරිය 1967 වසරේ පෙබරවාරි මස 01 වනදා ඉපදුණු බව සඳහන් කරමින් 675320203V දරණ අංකය යටතේ ජාතික හැඳුනුම්පතක් ලබාගෙන තිබෙනවා. ඉන් පසුව 1971 වසරේ පෙබරවාරි මස 03 වනදා ඉපදුණු බව සඳහන් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගෙන තිබෙනවා. සාවද්‍ය තොරතුරු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ලබාගත් විදේශ ගමන් බලපත්‍රය  'අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක්' ලෙස සැලකෙනවා. 

එසේ අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමට කිසිවෙකුට කිසිදු නෛතික හිමිකමක් නැහැ. අදාල විදේශ ගමන් බලපත්‍රයේ අක්ෂර වල ගැටලුවක් තිබූ බව විත්තිකාරිය සිය විත්තිවාචකය තුළින් සඳහන් කළත් එම වරද නිවැරැදි කර ගැනීමට ඇය ක්‍රියා කර නැහැ.

එමෙන්ම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේදි මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් වූ සාක්ෂි අධික ලෙස තක්සේරු කරමින් තමන් වරදකරු කළ බව විත්තිකාරිය සිය අභියාචනාවේ සදහන් කර තිබුණද එම තීන්දුව අධ්‍යනය කිරීමේදී පෙනී යන්නේ මහේස්ත්‍රාත්වරයා තමන් හමුවට ඉදිරිපත් කළ සාක්ෂි නිවැරදි ලෙස විශ්ලේෂණය කරමින් එම තීන්දුව ලබා දී ඇති බවයි." 

ඒ අනුව විත්තිකාරිය අදාළ චෝදනා වලට වරදකරු කරමින් 2022 වසරේ මැයි මස 27 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුව තහවුරු කරන බව පැවසූ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකාරිය ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කරන බවට නියෝග කළේය.

කෙසේ වෙතත් මෙම මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිවද ශෂී වීරවංශ මහත්මිය අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.