2025 වසරේදී ළමා ශ්‍රමිකත්වයට අදාළව පැමිණිලි 516ක් ලැබිලා

2025 වසරේදී ළමා ශ්‍රමිකත්වයට අදාළව පැමිණිලි 516ක් ලැබිලා

June 11, 2026   07:44 pm

2025 වසරේදී ළමා ශ්‍රමිකත්වයට අදාළව පැමිණි 516ක් පමණ ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. 

ජුනි මස 12 වෙනිදාට යෙදෙන “ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය” වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය මේ බව සඳහන් කර ඇත. 

එහිදී ශ්‍රමිකත්වය පිළිබඳ පැමිණිලි 173ක්ද , ළමා වෙළදාම පිළිබඳ පැමිණිළි 53ක්ද,  ළමුන් සිඟමනේ යෙදවීම පිළිබඳ පැමිණිලි 287ක්ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇති බව සඳහන්ය.

ළමා ශ්‍රමය යනු ළමයින්ගේ ළමා කාලය, ඔවුන්ගේ විභවය සහ ඔවුන්ගේ ගෞරවය අහිමි කරන වැඩ වන අතර එය ශාරීරික හා මානසික සංවර්ධනයට හානිකර වන බව ළමා ආරක්ෂක අධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. 

වයස අවුරුදු 16ට අඩු සෑම ළමයෙක්ම අනිවාර්ය අධ්‍යාපනය සඳහා යොමු කළ යුතුය.

වයස අවුරුදු 16-18 ත්  අතර ළමයින්ගේ ජීවිතයට, සෞඛ්‍යයට, අධ්‍යාපනයට, සදාචාර වර්ධනයට අනතුරුදායි නොවන රැකියාවන්හී පමණක් ළමයින් යෙදවිය හැකි අතර, මෙම ළමයින් අනාරක්ෂිත රැකියාවල හෝ රාත්‍රී සේවාවන්වල යෙදවිය නොහැකි බව එම අධිකාරිය පෙන්වා දෙයි.

ළමයින් මෙහෙකාර සේවයට යොදවාගැනීම දඩුවම් ලැබිය හැකි වරදක් වන අතර  ළමයින් සිඟමනේ යොදවන දෙමාපියන්ට හා තැරැව්කරුවන්ට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 288 වගන්තිය ප්‍රකාරව බන්ධනාගාර ගත කිරීමකින් සහ දඩයකින් දඬුවම් කළ හැකිය. 

ඒ අනුව සියලුම දෙමාපියන්, ගුරුවරුන්, භාරකරුවන් සහ ව්‍යාපාරිකයන් මෙන්ම සමාජයේ සියලු පුරවැසියන් මේ පිළිබඳ දැනුවත්භාවය ලබාගත යුතු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය අවධාරණය කළාය.

ළමා මෙහෙකාර සේවය, ළමුන් වීදි වෙළදාමේ යෙදවිම, ඔවුන් ලවා සර්කස් ඇතුළු විනෝද ක්‍රීඩා සිදුකොට මුදල් ඉපයීම, ළමයින් ලවා මත්ද්‍රව්‍ය හා මත්පැන් විකිණිම, ළමයින් ගණිකා වෘත්තියේ යෙදවීම ආදිය අපරාධ නීතිය යටතේ වරදකි. 

එමෙන්ම, සයිබර් තාක්ෂණය ඔස්සේ ළමයින් වාණිජ කටයුතු සඳහා යොදා ගන්නේ නම් එය ද අපරාධ නීතිය යටතේ වරදක් වන බව සඳහන්ය.

ළමයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්මට අන්තරායකර රැකියා 71 ක් මේ වන විට හදුනාගෙන හඳුනාගෙන ඇති බව ළමා ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරයි.