බදුල්ලේදී ගජමුතු සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

බදුල්ලේදී ගජමුතු සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

June 11, 2026   12:47 pm

බදුල්ල හාලිඇල නගරාසන්නයේ දී ගජමුතු දෙකක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

මෙලෙස බන්ධනාගාරගත කර ඇත්තේ හාලිඇල අන්තුඩාවෙල සහ පතනවත්ත යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 31,30 සහ 26 වියේ පසුවන්නන් බව සඳහන් වෙයි.

පසුගිය (09) වන දින උඩුවර විශේෂ බළකා කඳවුරේ නිලධාරීන් හට ලද තොරතුරක් මත හාලිඇල බණ්ඩාරවෙල මාර්ගයේ ගණදෙවි දේවාලය අසලදි මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට අවස්ථාවේ දී ඔවුන් සන්තකයේ තිබු මිලි ග්‍රෑම් 5,900ක් බරැති ගජමුතු බවට සැක කෙරෙන කැබලි දෙකක් ද එම නිලධාරීන් විසින් සොයා ගෙන තිබිණි.

අනතුරුව ඔවුන් හාලිඇල පොලිස් ස්ථානය වෙත භාරදීමෙන් පසු මෙලෙස බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කර තිබුණි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇල පොලිස් ස්ථානාධිපතිගේ මෙහෙයවීමෙන් වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක අතර පොලිස් භාරයට ගෙන ඇති ගජමුතු දෙක සම්බන්ධයෙන් නිවැරැදිභාවය සහතික කර ගැනීම සඳහා දෙහිවල සත්ව උද්‍යානය වෙතින් විශේෂ වාර්තාවක් කැදවීමට පියවර ගෙන ඇතැයිද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.