සලේ සම්බන්ධයෙන් අද කැඳවූ නඩු විභාගයේ සාරාංශය
June 10, 2026 09:56 pm
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් භාරයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා, රැදවුම් භාරයේ සිටියදී වධහිංසාවට පත්ව ඇත්දැයි සොයාබැලීම සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීම සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශයට පත්කිරීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී එම නඩුව අද (10) යළි කැඳවිණි.
එහිදී සිය නියෝගය ප්‍රකාශයට පත්කරමින් කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා සඳහන් කළේ, සම්පූර්ණ නියෝගය පිටු 17කින් සමන්විත බවය.
"පූර්වගාමී මහෙස්ත්‍රාත්තුමා අප්‍රෙල් 22 වැනිදා ලබාදී ඇති නියෝගය 2022 අංක 12 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 9 (ආ) (3) වගන්තියෙන් මහේස්ත්රාත්වරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව සැකකරු වධහිංසාවට ලක්ව ඇති බවට වන පදනමේ සිට ලබාදී ඇති බව විත්තියේ ලිඛිත දේශනයේ සඳහන් කර තිබෙනවා.
නමුත් කරුණු සලකා බැලීමේදී පෙනී යනවා එම නියෝගය සැකකරු වධහිංසාවට ලක්ව ඇති බවට මතයක් සහිතව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගයක් නොවන බව.
සැකකරු අත්අඩංගුවට ගැනීම සිදුවුණු පෙබරවාරි 25 වනදා සිට එම නියෝගය නිකුත් කළ අප්‍රේල් 22 වැනිදා දක්වා සැකකරු කෲර අමානුෂික වධහිංසාවට ලක්ව ඇති බවට නිශ්චිත අනාවරණයක් වී නැහැ. මැයි 20 මා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදීත් මා ඉදිරියේ කෲර අමානුෂික වධහිංසාවට ලක්වූ බවට කරුණු ඉදිරිපත් කෙරුණේ නැහැ".
එමෙන්ම පූර්වගාමි මහෙස්ත්‍රාත්වරයාගේ නියෝග ප්‍රකාරව මින් පෙර අධිකරණය කැඳවා ඇති මානසික වෛද්‍ය වාර්තාවක් සම්බන්ධයෙන්ද මහෙස්ත්‍රාත්වරයා සිය නියෝගය තුළ කරුණු පැහැදිලි කළේය.
"පූර්වගාමි මහෙස්ත්‍රාත්වරයා සැකකරු පෝෂණවේදියෙකු, අක්ෂි විශේෂඥයෙකුට සහ මානසික විශේෂඥයෙකුට යොමුකරන්න කියලා නියෝගයක් කරලා තියෙනවා. එහිදී අංගොඩ මුල්ලේරියාව ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ මානසික විශේෂඥ වෛද්‍ය සී.ජී.කේ. ප්‍රනාන්දු නිකුත් කළ වාර්තාවේ මෙම සැකකරු මානසික වධදීමකට ලක්ව ඇති බව සඳහන් වෙනවා.
ඒ වගේම මානසික රෝග කිහිපයක් තිබූ බවත් සඳහන්. එසේම සැකකරුගේ බාහිර තුවාල නිරීක්ෂණය නොවුණු බවත් ඔහු තමන්ට එරෙහිව ඉදිරිපත්කර ඇති චෝදනා අවබෝධ කරගනිමින් නඩු විභාගයකට මුහුණදීමට සුදුසු තත්ත්වයක සිටින බවත් එම වාර්තාවේ සඳහන් වුණා.
නමුත් එම වාර්තාව සම්පූර්ණ වාර්තාවක් නොවන බවත් තවදුරටත් සම්පූර්ණ පරීක්ෂණයක් කළයුතු බවටත් එහි නිර්දේශ කර තිබෙනවා. කොහොම නමුත් මේ විශේෂ වෛද්‍ය වාර්තාවට එම වෛද්‍යවරයා විතරයි අත්සන් කර තිබෙන්නේ. පරීක්ෂා කිරීමට සහභාගි වූ සෙසු වෛද්‍යවරුන් සිව්දෙනා අත්සන් කර නැහැ.
ඒ වගේම ඔවුන් විශේෂඥ වෛද්‍යවරුනුත් නොවෙයි. මෙම වාර්තාව නිකුත් කළ දිනය ලෙස සඳහන් වෙන්නේ අප්‍රේල් 21. නමුත් වාර්තාව කැඳවන ලෙස නියෝගය කර තිබෙන්නෙත් අප්‍රේල් 22".
ඒ අනුව මෙම සියලු කරුණු සලකා බලා රැඳවුම් භාරයේ සිටියදී සැකකාර සුරේෂ් සලේ වධහිංසාවට ලක්ව ඇත්දැයි පරික්ෂා කිරීමට පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත්කරන බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ප්‍රකාශ කළේය.
"මෙම කරුණු සලකා බැලීමේදී සැකකරු රැඳවුම් භාරයේ සිටියදී වධහිංසාවට ලක්ව ඇත්දැයි පරික්ෂා කිරීමට පංච විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීමට අධිකරණය තීරණය කරනවා.
පැමිණිල්ලේ යෝජනාව වුණේ ඒ පිළිබඳ පරික්ෂා කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා හරහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලය පත්කරන්න කියලා. නමුත් විත්තිය ඊට විරුද්ධ වුණා. එබැවින් අධිකරණය විසින් ස්වාධීන පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය පත්කරනු ලබනවා".
ඒ අනුව සුරේෂ් සලේ මහතා රැඳවුම් භාරයේ සිටියදී වධහිංසාවට ලක්ව ඇත්දැයි පරික්ෂා කිරීමට අධිකරණය පත්කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විශේෂඥ මානසික වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සහ විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් සමන්විතය.
එහි සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය තුසිත මෙන්ඩිස් මහතා පත්කළ අතර සෙසු සාමාජික විශේෂඥ වෛද්‍යවරුන් වන්නේ චිත්තාහරි අබේනායක, දසන්ති අක්මීමන, දුලෙයිකා අමරසිංහ වාස් සහ වජිර ධර්මවර්ධනය.
ඒ අනුව අදාළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට සුරේෂ් සලේ මහතා කළුබෝවිල, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී පරික්ෂාවට ලක්කර ඉදිරි නඩු දිනට ප්‍රථම වාර්තාවක් ලබාදෙන ලෙස අධිකරණය නියෝග කළේය.
නඩුව ජුලි මස 01 වනදා යළි කැඳවීමට නියමිතය.
