ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
June 10, 2026 07:53 pm
ප්‍රධාන නගර සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ලෝක උරුමයක් වන ගාල්ල නගරය සංස්කෘතික සහ සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී විමසා බැලූ ජනාධිපතිවරයා එය ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු සහ ඊට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද සාකච්ඡා කළේය.
මේ යටතේ ගාල්ල නගර මධ්‍යයේ පවතින පොලිස් ස්ථානය, තැපැල් කාර්යාලය, බන්ධනාගාරය සහ හෙද පුහුණු පාසල වෙනත් ස්ථානවල ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීම පිළිබඳවද මෙහිදි විශේෂ අවධානය යොමු විය.
විධිමත් නගර සැලැස්මක් තුළ ගාල්ල නගරය සංවර්ධනය කිරිමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, නගරය සැලසුම් කිරීම, රාජ්‍ය ආයතන ගාල්ල කොටුවෙන් පිටත ස්ථාපනය, ගොඩනැගිලි, මාර්ග ඇතුළු යටිතල පහසුකම් ඉදිකිරීම හා භූමිය උපරිම ඵලදායීතාවකින් සංවර්ධනය සඳහා යොදා ගැනීමේදී සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව කටයුතු කිරිමේ වැදගත්කම අවධාරණය කළේය. එහිදී නාගරික සංවර්ධන අධිකාරියට සුවිශේෂී වගකීමක් පැවරෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම, ආයෝජන ගෙන්වා ගැනීම සහ නව ඉදිකිරීම් සඳහා ප්‍රතිපාදන වෙන් කර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
ගාලු කොටුව සහ ඒ ආශ්රිත මුහුදු තීරය සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ජනතාවට වඩා පහසුවෙන් සේවා ලබා ගත හැකි අන්දමින් ගාල්ල නගරයේ සියලු රජයේ කාර්යාල එක් පරිපාලන ගොඩනැගිල්ලකට ගෙන ඒම සහ දැනට පවතින සෞන්දර්ය පාසල සංවර්ධනය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
