2018 සිට 2024 දක්වා පාසල් හැරගිය ළමුන් 267,000කට අධිකයි
June 10, 2026 10:00 am
2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමුන් 267,138 දෙනෙකු වාර්තා වී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ 2010 සිට 2017 වර්ෂයේ මුල් කාලය දක්වා පාසල් හැරගිය ළමුන් පිළිබඳ නිශ්චිත දත්ත තමන් සතුව නොමැති බවය.
2018 සිට 2024 දක්වා වාර්ෂික පාසල් සංගණන දත්ත වාර්තා මත පදනම්ව, පළමු ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා එක් එක් ශ්‍රේණියට ඇතුළත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව සහ ඇදහැලීම් අනුපාත සැලකිල්ලට ගනිමින් අන්තර්ජාතිකව පිළිගත් සමීකරණයක් භාවිතයෙන් මෙම දත්ත ගණනය කර තිබේ.
ඒ අනුව පාසල් හැරගිය ළමුන්ගේ සංඛ්‍යාව 2018 වසරේදී 38,839ක්, 2019 වසරේදී 41,503ක්, 2020 වසරේදී 32,540ක්, 2021 වසරේදී 25,492ක්, 2022 වසරේදී 52,596ක්, 2023 වසරේදී 50,345ක් සහ 2024 වසරේදී 25,823ක් ලෙස වාර්තා වී ඇත.
කෙසේ වෙතත්, එක් පළාතක සිට තවත් පළාතක පාසලකට මාරුවීම, ජාත්‍යන්තර පාසල්වලට ඇතුළත් වීම හෝ පවුලේ සාමාජිකයන් සමඟ විදේශගත වීම වැනි හේතු මත ඇතැම් සිසුන් පාසල් පද්ධතියෙන් ඉවත් වුවද ඔවුන් තවදුරටත් විධිමත් අධ්‍යාපනය ලබමින් සිටිය හැකි බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි.
එවැනි දත්ත මෙම ගණනය කිරීමේදී නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කරයි.
දරුවන් පාසල් හැරයාමට බලපාන ප්‍රධාන හේතු ලෙස පෞද්ගලික හේතු, පාසල සම්බන්ධ හේතු, පවුල සම්බන්ධ හේතු, සමාජීය හේතු සහ වෙනත් අධ්‍යාපනික කටයුතු සඳහා යොමුවීම හඳුනාගෙන තිබේ.
