මුදල් පරිපාලන වාර්තාවක් ලබාදෙන ලෙසට හොරණ රාජ්‍ය බැංකුවේ කළමනාකරුට නියෝගයක්
June 8, 2026 10:08 pm
හොරණ රාජ්‍ය බැංකුවක සිදු වූ රුපියල් කෝටි 3.5ක මහා පරිමාණ මුදල් කොල්ලය සම්බන්ධයෙන් පවත්වනු ලබන විමර්ශනවලට අදාළව, එම බැංකුවේ මුදල් පරිපාලන කටයුතු සිදුවන ආකාරය පිළිබඳ වාර්තාවක් පොලීසියට ලබා දෙන ලෙස හොරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගම මහත්මිය අද (08) එම බැංකුවේ කළමනාකරුට නියෝග කර තිබේ.
මෙම බැංකු කොල්ලය පිළිබඳ සිදුකරන විමර්ශන කටයුතු තවදුරටත් සාර්ථක කරගැනීම සඳහා බැංකුවේ විධිමත් මූල්‍ය ක්‍රියා පටිපාටියක් හැදෑරීමට අවශ්‍යව ඇති බවට පොලීසිය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව අදාළ වාර්තා පොලීසිය වෙත ලබාදීමට බැංකු කළමනාකරු පියවර ගෙන තිබේ.
මේ අතර, බැංකු කොල්ලයට සම්බන්ධ සැකකරු විසින් බැංකුව තුළම පිහිටි යකඩ රාක්කයක් සහ බිත්තියක් අතර රහසිගතව සඟවා තිබියදී විමර්ශන නිලධාරීන් විසින් සොයාගත් රුපියල් දාහත් ලක්ෂ හතළිස් හත්දහසක මුදල සහ ඒ සඳහා භාවිත කළ බෑගය නඩු භාණ්ඩ ලෙස අද දින අධිකරණයට භාර දී තිබේ.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දොළමුල්ල සහ උප පොලිස් පරීක්ෂක ජූඩ් යන නිලධාරීන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
