සලේ වෙනුවෙන් හෙට සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්

සලේ වෙනුවෙන් හෙට සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්

June 7, 2026   07:32 pm

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් අද (07) අනාවරණ කර තිබේ. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත ලිපියක් යොමුකරමින් සලේ මහතාගේ නීතිඥවරයා පවසන්නේ සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන සැකසීම සඳහා සිය නීතිඥයින්ට කඩිනමින් තමන් හමුවීමට පැමිණෙන ලෙස සලේ මහතා දැනුම් දී ඇති බවය. 

එසේම, එම ලිපිය මගින් සලේ මහතාව පහසුකම් සහිත රෝහලකට යොමුකරන ලෙසත්, ස්වාධීන වෛද්‍ය කණ්ඩායමක් මගින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය විනිශ්චය කරන ලෙසත් ඉල්ලා සිටියි. 

මේ අතර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට සෙත්පතා සර්වජන බලය සංවිධාන කළ බෝධි පූජා පිංකම සහ පිරිත් සඡ්ඣායනය බෙල්ලන්විල රජමහා විහාරයේදී අද පස්වරුවේ පැවැත්වුණි. 

එම අවස්ථාවට සුරේෂ් සලේ මහතාගේ බිරිඳ සහ පුතනුවන්ද එක්ව සිටියේය. 

එමෙන්ම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් හෙට (08) පෙරවරුවේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සූදානම්ව සිටියි.


රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ඉකුත් පෙබරවාරි 25 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා එල්ල කරමිනි.

අනතුරුව රැඳවුම් නියෝග මත සලේ මහතා එම දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටියි.

ඊයේ (06) පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අනාවරණ කළේ ඔහුට CID නිලධාරීන් වධහිංසා සිදුකරන බැවින් ඔහු උපවාසයක් අරඹා ඇති බවය.

කෙසේවෙතත් ඊයේ රාත්‍රියේය නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය උදය ගම්මන්පිල මහතා සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබුණි.

එහි දැක්වෙන්නේ ගම්මන්පිල මහතා මාධ්‍යයට අදහස් දක්වමින් සිදුකළ ප්‍රකාශයේ දැක්වෙන ආකාරයෙන් අදාළ සැකකරුට පහරදීමක් හෝ අමානුෂික සැලකීමක් ශ්‍රී ලංකා පොලීසිය මගින් සිදුකර නොමැති බවය.

මෙවන් පසුබිමක සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ද යොමුකර තිබුණි. 

එමඟින් ඇය තම ස්වාමි පුරුෂයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී සිදුව ඇති බව පැවසෙන කෘෘර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම් මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබානොදීම් ඇතුළු කරුණු පිළිබඳ වහාම ස්වාධීන අපරාධ පරීක්ෂණයක් අරඹන ලෙස ඉල්ලා සිටියි. 

සලේ මහතාට ප්‍රමාණවත් තරම් ආහාර ලබානොදෙන බවත්, ඒ සඳහා අවශ්‍ය උපකරණ නොමැති බවත්, රාත්‍රි 10න් පසුව වැසිකිළි පහසුකම් භාවිත කිරීමට පවා අවසර නොමැති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

එහි ප්‍රතිඵලයක් ලෙස සුරේෂ් සලේ වන තම සැමියාට දරුණු මලබද්ධ තත්ත්වයක් සහ විවිධ ශාරීරික සංකූලතා මතුව ඇති බවත් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා නිකුත් කළ වාර්තාවේද සඳහන් බවත් ඇය පෙන්වා දෙයි.