දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්රයෙන් ඉහළට
June 7, 2026 04:24 pm
දිවයිනේ දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවත්, ඒ හේතුවෙන් ඩෙංගු මර්දන පරීක්ෂණ කටයුතු ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේය.
මෙම පරීක්ෂා කිරීම් සඳහා මහජනතාවගේ සම්පූර්ණ සහාය හිමිවිය යුතු අතර, රාජකාරියේ නිරත වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කටයුතුවලට අවනත නොවන සහ ඊට බාධා කරන පුද්ගලයන්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවද අධ්යක්ෂවරයා අවධාරණය කරයි.
පසුගිය ජනවාරි මාසයේ සිට පැවැති වැසි සහිත කාලගුණය මෙම රෝගී වර්ධනයට ප්‍රධානතම හේතුව වී තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව පසුගිය ජුනි 5වැනිදා වනවිට රෝගීන් 36,168ක් වාර්තාවී ඇත. ඉන් වැඩිම රෝගීන් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.
ඊට අමතරව මාතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවලද රෝගීන් වාර්තා වී තිබේ.
එමෙන්ම මේ දක්වා මරණ 20ක් වාර්තා වී ඇති අතර, ඉන් තිදෙනෙක්ම කුඩා ළමුන් බව සඳහන්ය.
මේ අතර උද්ගතව ඇති අවදානම් තත්ත්වය පාලනය කිරීම සඳහා හෙට (ජුනි 8), 9 සහ 10 යන තෙදින තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
මෙම විශේෂ වැඩසටහන ඩෙංගු රෝගීන් බහුලවම වාර්තා වන දිස්ත්‍රික්ක 14 කට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාශ 72 ක් කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීමට නියමිතය.
