වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 36,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 36,000 ඉක්මවයි

June 6, 2026   05:10 pm

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 36,168ක් වාර්තා වි ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේ මෙම අගයන් වසරේ ජනවාරි 01 වැනි දින සිට ජුනි 05 වැනි දින දක්වා කාලය තුළ වාර්තා වි ඇති බවය.

මේ දිනවලද පවතින වර්ෂාව හේතුවෙන් ඉදිරි දිනවලදීද ඩෙංගු රෝගීන් වාර්තා වීම් වැඩිවීමේ අවදානමක් පවතින බවද පෙන්වා දෙන එම ඒකකය දැනට පවතින දත්ත අනුව කොළඹ, ගම්පහ, කළුතර, නුවර, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, පුත්තලම, කල්මුනේ සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක අවදානම් දිස්ත්‍රික්ක ලෙසත් හඳුනාගෙන ඇත.

ඉහත දිස්ත්‍රික්කවල අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් කේන්ද්‍ර කරගනිමින් විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ජුනි 08,09,10 යන දිනවල පැවැත්වීමට නියමිත අතර මෙය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ ස්වෙච්ඡා සංවිධාන රැසකගේ දායකත්වයෙන් සිදු කිරීමටද නියමිතය.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනුයේ ඩෙංගු රෝග වාහකයා වන ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩ්ස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ පැහැදිලි ජලය සහිත ඕනෑම පරිසරයක බෝවීමේ අවදානමක් ඇති හෙයින් අවම වශයෙන් සතියකට විනාඩි 30ක් මේ පිළිබඳව විමසිලිමත්ව මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.

එසේම උදේ සහ සවස් කාලයේදී මදුරු දෂ්ටනයයෙන් වැළකී සිටීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඒ සඳහා ශරීරය ආවරණය වන ඇඳුම් ඇඳීම සහ අනුමත මදුරු විකර්ශක භාවිත කරන ලෙසද මහජනතාව වෙත දැනුම් දෙන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

තවද යම් අයෙකුට තද උණ සමග හිසරදය, මස්පිඩු හා සන්දි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතු පැහැ ලප හටගැනීම සහ රුධිර වහන තත්ත් ඇත්නම් වහාම රෝහලකට හෝ සුසුදුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත ගොස් නිසි ප්‍රතිකාර ලබා ගන්නා ලෙසද එම ඒකකය අවධාරණය කර තිබේ.

ඊට අමතරව උණ පාලනය කර ගැනීම සඳහා පැරසිටමෝල් ඖෂධය පමණක් ලබාගන්නා ලෙසත් NSAID කාණ්ඩයේ ඖෂධ එනම් ඇස්ප්‍රීන්, මෙෆෙනමික් ඇසිඩ්, ඉබියුප්‍රොෙෆන්, ඩයික්ලොෆෙනැක් නම් ඔෂධ සහ Steroid කාණ්ඩයේ ඖෂධ වන ප්‍රෙඩ්නිසොලොන්, ඩෙක්සාමෙතසොන් වැනි ඖෂධ භාවිතයෙන් වළකින ලෙසත් ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කළේය.