අද සිට හෙට දක්වා කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා තැබේ
June 6, 2026 07:13 am
කැලණිවැලි මාර්ගයේ බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර පිහිටි කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ සිදු කරන අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන්, දුම්රිය ධාවනය සීමා කිරීමට සහ කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා තැබීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ මාර්ගය වසා තැබීම අද (06) උදෑසන 9:30 සිට හෙට (07) උදෑසන 7:30 දක්වා ක්‍රියාත්මක බවය.
එම කාලසීමාව තුළ කොටා පාර දුම්රිය හරස් මාර්ගය වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම වසා තැබෙන අතර කොළඹ කොටුව සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සිදු නොකරන බවද සඳහන් ය.
මේ අතර අද පස්වරුවේ මන්දගාමී දුම්රිය තුනක් නාරාහේන්පිට දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර අවිස්සාවේල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට කටයුතු යොදා තිබේ.
මේ අතර අද සහ හෙට යන දෙදින තුළ ප්‍රධාන මාර්ගයේ හොරපේ දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේ සිදු කරනු ලබන අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් හරස් මාර්ගය වසා තැබීමටද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
