පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය  තහවුරු කිරීමේ වගකීම රජයක් ලෙස අප භාර ගන්නවා - අගමැති

පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජයක් ලෙස අප භාර ගන්නවා - අගමැති

June 5, 2026   09:49 pm

දරුවකුගේ ඉදිරි අධ්‍යාපන ගමනේ මඟ තීරණය කරන ප්‍රධානතම සන්ධිස්ථානය පෙරපාසල් අධ්‍යාපනය වන බැවින් එහි ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජයක් ලෙස භාරගන්නා බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

එමෙන්ම සියලු පළාත් ආවරණය වන පරිදි පූර්ව ළමාවිය අධ්‍යාපන කටයුතු නිවැරදි අධීක්ෂණයකට ලක් කළ යුතු බව ද ඇය වැඩිදුරටත් පැවසීය.

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සිදු කළ අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාව අතරතුර වයඹ පෙරපාසල් ගුරු පුහුණු විද්‍යාලයේ 2023/2024 වර්ෂය සඳහා වූ පෙරපාසල් ගුරු පුහුණු ඩිප්ලෝමාධාරිනියන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීම සඳහා අද (05) පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය. 

පෙරපාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ උත්සවය පෙරපාසල් අධ්‍යාපන සංවර්ධන අධිකාරිය සහ වයඹ පළාත් සභාව එක්ව සංවිධානය කර තිබුණි. 

එමෙන්ම මෙහි පැමිණ සිටි ආරාධිතයින් විසින් පූර්ව ළමාවිය සංවර්ධනය සඳහා වූ රජයේ ස්ථාවරය පිළිබඳව නව ඩිප්ලෝමාධාරිනියන් දැනුවත් කිරීමට කටයුතු කළේය. 

එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය,

''ඉදිරි අවුරුදු කිහිපය තුළ පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අප සැලසුම් කරමින් සිටිනවා. ඒ සඳහා ජාතික අධ්‍යාපන කොමිසම, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යන ආයතනයන් සමඟ එක්ව ඒ පිළිබඳ ප්‍රතිපත්ති, ගුරු පුහුණුවට අවශ්‍ය නිර්ණායක සහ ඒවා අධීක්ෂණය කිරීමට අවශ්‍ය රෙගුලාසි සම්පාදනය කිරීම සඳහා අප වැඩකටයුතු සකස් කරමින් සිටිනවා. මෙම වසරේදී පෙරපාසල් ගුරු පුහුණු කටයුතු ආරම්භ කිරීමට සැලසුම් සකස්කරමින් තිබෙනවා. ඒ හරහා 2027 වන විට අප බලාපොරොත්තු වෙනවා එකම විෂය මාලාවක් රට පුරා පෙරපාසල් සඳහා ක්‍රියාත්මක කරන්න. ඒ වගේම පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ නිවැරදි මතයක් සමාජගත කිරීමද වැදගත් වෙනවා.

පෙරපාසල් අධ්‍යාපනය ඔස්සේ සිදුකළ යුත්තේ දරුවාගේ ඉදිරි ප්‍රාථමික අධ්‍යාපනයට හොඳ සූදානමක් ලබාදීමයි. එමනිසා දරුවන්ගේ චාලක කුසලතා වැනි දේවල් වර්ධනය කිරීමටයි පෙරපාසල් අධ්‍යාපනය ඔස්සේ ඉලක්කගත විය යුත්තේ. දෙමාපියන්, වැඩිහිටියන් හැටියට අපේ වගකීමක් තමයි දරුවාට අනවශ්‍ය බරක් නොදැනෙන ලෙස සමාජශීලීත්වය සහ දැනුම වයසට සුදුසු ආකාරයට වර්ධනය කරගැනීමට ඉඩසැලැස්වීම. විශේෂයෙන්ම පෙරපාසල් ගුරුවරුන් ලෙස පූර්ව ළමාවිය අධ්‍යාපනයෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක්ද කියන ඒ පණිවිඩය සමාජයට ලබාදීමට ඔබට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා''