රුමේෂ් තරංගගෙන් ඉතිහාසගත හෙල්ල විසි කිරීමක් - නව ශ්‍රී ලංකා වාර්තාවකුත්

June 5, 2026   04:46 am

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග ඉතාලියේ රෝම නුවර පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී ඓතිහාසික දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.

ඊයේ (04) පැවති පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී රුමේෂ් තරංග මීටර් 92.62ක දුරක් හෙල්ල විසි කරමින් මෙම සුවිශේෂී ජයග්‍රහණය වාර්තා කළේය.

ලොව ප්‍රමුඛතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වන ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී දැක්වූ මෙම දක්ෂතාවයත් සමඟ රුමේෂ් තරංග ආසියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ දෙවැනි හොඳම හෙල්ල විසි කිරීමේ දක්ෂතාව හිමි ක්‍රීඩකයා බවට පත්ව ඇති අතර, ලෝක හෙල්ල විසි කිරීමේ ඉතිහාසයේ හොඳම දක්ෂතා අතර 8 වැනි ස්ථානයටද ඉහළ ගොස් ඇත.

එමෙන්ම 2026 වසර තුළ මීටර් 90 සීමාව පසු කළ පළමු සහ එකම ක්‍රීඩකයා වන්නේද රුමේෂ් තරංගය.  

මෙම දක්ෂතාව රෝම ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ තරග වාර්තාවක් වන අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 90 සීමාව ඉක්මවා හෙල්ල විසි කළ පළමු ක්‍රීඩකයා ලෙසද රුමේෂ් තරංග මෙහිදී වාර්තා අතරට එක්වුණි.