නව්යකරණය වූ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවක් සැකසිය යුතුයි - අගමැතිනිය
June 4, 2026 03:11 pm
නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ සංශෝධනය කෙරෙන උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව නව පරම්පරාවේ ප්රවණතා සහ කර්මාන්ත ක්ෂේත්රයේ අවශ්යතාවලට ගැළපෙන අයුරින් නව්යකරණය කළ යුතු බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්රකාශ කළාය.
ඇය මේ බව සඳහන් කළේ සංශෝධනය කිරීමට නියමිත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ ව්යුහය සහ සහතිකකරණ ක්රියාවලිය සම්බන්ධයෙන් අදහස් හා නිර්දේශ ලබාගැනීම සඳහා ඉසුරුපාය අධ්යාපන අමාත්යාංශ පරිශ්රයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙහිදී උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සංශෝධනය කිරීමේදී අනුගමනය කළ යුතු මූලික නිර්ණායක සහ එමඟින් උසස් අධ්යාපනය සඳහා විවෘත වන නව ප්රවේශ මාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
එමෙන්ම ක්රමවත් තත්ත්ව සහතිකකරණ ක්රියාවලියක් ඔස්සේ මෙම විෂය ධාරාව හදාරන සිසුන්ට පිළිගත් වෘත්තීය ජීවිතයක් සඳහා අවශ්ය පදනම සකස් කිරීමේ වැදගත්කම ද අවධාරණය විය.
අග්රාමාත්යවරිය වැඩිදුරටත් සඳහන් කළේ, වෘත්තීය විෂය ධාරාවට වැඩි වටිනාකමක් ලබාදීම සඳහා නිසි තේරීම් ක්රමවේදයක් යටතේ සිසුන් ඇතුළත් කර ගැනීම අවශ්ය බවයි.
එමෙන්ම උසස් අධ්යාපනය සඳහා ඇති ප්රවේශය පුළුල් කරමින් පාර්ශ්වික ඇතුළත් වීම් (Lateral Entry) ක්රමවේදයක් ද හඳුන්වා දිය යුතු බව ඇය පෙන්වා දුන්නාය.
වෘත්තීය අධ්යාපනයේ සමාජීය හා ආර්ථික වටිනාකම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ එමඟින් බිහිවන රැකියා අවස්ථා පිළිබඳව අවබෝධයක් ලබාදීම සඳහා වැඩසටහන් ක්රියාත්මක කිරීමේ අවශ්යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම සාකච්ඡාව සඳහා අධ්යාපන හා උසස් අධ්යාපන නියෝජ්ය අමාත්ය වෛද්ය මධුර සෙනෙවිරත්න මහතා, අමාත්යාංශ ලේකම් නාලක කළුවැව මහතා, ජාතික අධ්යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ජ්යෙෂ්ඨ මහාචාර්ය ඕ. ජී. දයාරත්න බණ්ඩා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
