ඉන්ධන පරිභෝජනය සීමා කළත් ආනයන වියදම් ඉහළ ගිය හැටි කැබිනට් ඇමති පෙන්වයි

ඉන්ධන පරිභෝජනය සීමා කළත් ආනයන වියදම් ඉහළ ගිය හැටි කැබිනට් ඇමති පෙන්වයි

June 2, 2026   03:43 pm

2026 වසරේ ගතවූ කාලය තුළ ඉන්ධන පරිභෝජනය සහ ඉන්ධන ආනයන වියදම් සම්බන්ධව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (02) අනාවරණයක් සිදු කළේය.

එහිදී අමාත්‍යවරයා ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අනුව ආනයන වියදම් අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවය.

ඒ අනුව ජනවාරි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා රජය අමෙරිකානු ඩොලර් මිලියන 186ක් විදයම් කර ඇති නමුත් මැයි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 521ක් දැරීමට සිදුව ඇති බවද සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,


"අපේ පරිභෝජනය ගත්තොත් ජනවාරි මාසයේදී අපි ඕටෝ ඩීසල් කිලෝ ලීටර් 4,538ක්, පෙබරවාරි 4,846, මාර්තු 6,130, අප්‍රේල් 3,988, මැයි 3,701යි ඒ අනුව ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා වන විට අපේ පරිභෝජනය අඩුව තිබෙන්නේ 82%ක මට්ටමක ප්‍රමාණයකින්. 

සමස්ත ඩීසල් ප්‍රමාණය ජනවාරි මාසයේදී කිලෝ ලීටර් 5,944ක් මැයි මාසයේදී කිලෝ ලීටර් 5,394 පාවිච්චි වෙනවා ඒ අනුව 91%ක තමයි අපේ පාවිච්චිය තිබෙන්නේ.

පෙට්‍රල් 92 ජනවාරි මාසයේදී කිලෝ ලීටර් 5,565ක් පාවිච්චි වෙලා තිබෙනවා මැයි මාසයේ මේ වන විට 4,849ක් පාවිච්චි වෙලා තියෙනවා. ඒ අනුව 87%ක ප්‍රමාණයක් පාවිච්චි වෙලා තියෙනවා. 

නමුත් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩිවීමත් එක්ක අපට මාසයකට තෙල් ආනයනය කරන්න තිබෙන වියදම ඉහළ ගිහින් තියෙනවා. ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 186, පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 97, මාර්තු ඩොලර් මිලියන 95, අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 316, මැයි මාසයේදී ඩොලර් මිලියන 521යි ජනවාරි මාසයේ ඉඳලා මැයි මාසය වෙනකොට පරිභෝජනය 80%-90% අතරේ තිබුණාට වැඩිවීම ඩොලර් මිලියන 186 ඉඳලා 521 දක්වා ඉහළ ගිහින් තියෙනවා. ලෝක වෙළෙඳපොළේ අඩුවැඩි වීම් අනුව අපි මිල ගලප්පන්න තමයි උත්සාහ කරමින් යන්නේ."