ප්‍රා. ස. සභාපතිගේ අත්සන හොරට යොදලා සේවකයෝ එකොළහකට පඩි ගෙවලා
June 2, 2026 01:30 pm
නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සේවකයන් එකොළොස් දෙනෙකුට පඩි ගෙවා ඇති බවට ප්‍රාදේශීය සභාවේ සභාපති චෝදනා කර තිබේ.
විමර්ශන කටයුත්තක් සඳහා අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටින කාලය තුළ මෙලෙස සිය අත්සන ව්‍යාජ ලෙස යොදා රුපියල් හය ලක්ෂ විසිපන්දහසකට ආසන්න මුදලක් ප්‍රාදේශීය සභා සේවකයන් එකොළොස් දෙනෙකුට පඩි වශයෙන් ගෙවා ඇති බවට නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති චෝදනා කර තිබේ.
ඔහු මේ බව කියා සිටියේ සිය අත්සන වංචනික ලෙස යොදා සිදුකර ඇති බව පවසන මූල්‍ය වංචාවක් පිළිබඳව නුවරඑළිය අපරාධ විමර්ශන අංශයට සහ නුවරඑළිය සහකාර පළාත් පාලන කොමසාරිස්වරියට අද (02) උදෑසන ලිඛිතව පැමිණිලි කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී ඔහු පවසා ඇත්තේ, අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයෙන් තමා කැඳවා විමර්ශනය සඳහා කොළඹ බන්ධනාගාර ගතව සිටින කාලය තුළදී පඩි ගෙවීම සඳහා අප්‍රේල් හත්වන දිනට තමාගේ අත්සනක් ව්‍යාජව යොදා ඇති බවයි.
මේ අතර, පඩි ලබාදීම සඳහා පත්කර ඇති නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් පසුව තමාගේ අත්සන යෙදීම නිත්‍යානුකූලව සිදුවිය යුතු නමුත් නිලධාරීන්ගේ අත්සනට කලින් දිනයක තමාගේ අත්සන මෙලෙස යොදා ඇති බව ඔහු සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් තමා ප්‍රාදේශීය සභාවේ නොමැති කාල පරාසය තුළ තමාගේ අස්සන වශයෙන් යොදා ඇති ව්‍යාජ අත්සන තමන් කිසිසේත් පිළිනොගන්නා බව ද ඔහු සඳහන් කර ඇත.
එලෙස ව්‍යාජ අත්සන් යොදා පඩි ලබාදීම සේම අත්සන ව්‍යාජව යොදා කූඨ ලේඛන සකසා ඇති බවටද තමන් සැක කරන බවද ඔහු පවසා තිබේ.
මේ පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් සිදුකර කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඔහු අද ලිඛිත පැමිණිල්ලක් ලබාදී නුවරඑළිය පොලීසියෙන් හා පළාත් පාලන කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කර ඇත.
