කෘෂි අමාත්‍යංශය සහ පොහොර ගෙන්වීමේ සමාගම් අතර විශේෂ සාකච්ඡාවක්

කෘෂි අමාත්‍යංශය සහ පොහොර ගෙන්වීමේ සමාගම් අතර විශේෂ සාකච්ඡාවක්

June 1, 2026   10:12 pm

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ මෙරටට පොහොර ගෙන්වන සමාගම් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (01) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පවත්වා තිබේ. 

එහිදී ඉදිරි මහ කන්නය සඳහා රටට අවශ්‍ය පොහොර ප්‍රමාණය නිසියාකාරව රට තුළට ගෙන්වා ගැනීමට පොහොර සමාගම් මැදිහත් විය යුතු ආකාරය සාකච්ඡා කර ඇත.

එමෙන්ම සමස්ත පොහොර අවශ්‍යතාව සපුරාලීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව  දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව අමාත්‍යාංශය නිවේදනය කළේය.

විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයට අත්‍යවශ්‍ය වන TSP (ත්‍රිත්ව සුපිරි පොස්පේට්), යූරියා (Urea) සහ MOP (මියුරියේට් ඔෆ් පොටෑෂ්) යන පොහොර වර්ගයන් ගෙන්වීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

මෙහිදී අනාවරණය වූයේ 2025 වසර යනු මෙරට විශාලවී අස්වැන්නක් ලබාගත් වසරක් වූ බවයි. 

කෙසේ වෙතත්, එම වසරේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුමත කොට ඇති පොහොර ප්‍රමාණයට වඩා අඩු පොහොර ප්‍රමාණයක් ගොවීන් භාවිත කර ඇති බව දත්ත මඟින් තහවුරුවී ඇත.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, 2026 වත්මන් වර්ෂය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරන සමස්ත පොහොර ප්‍රමාණයම මෙරටට ගෙන්වා දීමට සූදානම් බව පොහොර සමාගම් නියෝජිතයෝ මෙහිදී සහතික වූහ.

රට තුළ කිසිදු අයුරකින් පොහොර හිඟයක් ඉස්මතු වීමට ඉඩ නොතබන බවත්, අවශ්‍ය සියලුම පොහොර ප්‍රමාණයන් ගෙන්වීම සඳහා සමාගම් මේ වන විටත් ගිවිසුම්ගතව ඇති බවත් පොහොර ලේකම් කාර්යාලය මෙහිදී පෙන්වා දුන්නේය.

ගොවි ජනතාවගේ පොහොර අවශ්‍යතාවය නිසි කලට වේලාවට ලබා දීම වෙනුවෙන් සියලුම අංශ එක්ව කටයුතු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය නිරන්තරයෙන්ම සෘජුව මැදිහත් වන බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.