ගුවන්තොටුපළ - මාකුඹුර සුඛෝපභෝගී බස් රථ සේවාව යළි ආරම්භ කෙරේ

ගුවන්තොටුපළ - මාකුඹුර සුඛෝපභෝගී බස් රථ සේවාව යළි ආරම්භ කෙරේ

June 1, 2026   02:09 pm

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ මාකුඹුර අතර ක්‍රියාත්මක වන සුඛෝපභෝගී බස් රථ සේවාව අද (01) සිට වළි ආරම්භ කර තිබේ.

ගුවන්තොටුපොළ භාවිත කරන දේශීය සහ විදේශීය මගීන් සඳහා වඩාත් කාර්යක්ෂම, සුවපහසු සහ ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින් ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය එක්ව මෙම සේවාව ක්‍රියාත්මක කරයි.

මගී ජනතාවට උසස් තත්ත්වයේ සේවාවක් ලබාදීමේ අරමුණින් රියදුරන් සහ කොන්දොස්තරවරුන් සඳහා විශේෂ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර සේවාවේ කාර්යක්ෂමතාව සහ මගී පහසුව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සම්පූර්ණ කර ඇත.

මෙම සේවාව මගින් ගුවන්තොටුපොළට පැමිණෙන සහ ගුවන්තොටුපළින් පිටවන මගීන්ට මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත සහ එහි සිට ගුවන්තොටුපළ දක්වා සුවපහසු හා කඩිනම් ගමන් පහසුකම් සැලසෙනු ඇත.

මෙහි ගමන්ගාස්තුව රුපියල් 410ක් වන අතර ගමන් කාලය මිනිත්තු 50ක් පමණ වන බවද වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම සේවාව මගින් ගුවන්තොටුපළට පැමිණෙන සහ ගුවන්තොටුපළින් පිටවන මගීන්ට මාකුඹුර බහුවිධ මාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත සහ එහි සිට ගුවන්තොටුපළ දක්වා සුවපහසු හා කඩිනම් ගමන් පහසුකම් සැලසෙනු ඇති බවද අමාත්‍යාංශය සඳහන් කර ඇත.

උදෑසන 5.15 සිට සවස 6.30 දක්වා සෑම විනාඩි 45කට වරක් මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම සේවාව යළි ආරම්භ කිරීමත් සමඟ ගුවන්තොටුපළ වෙත පැමිණෙන සහ ගුවන්තොටුපළින් පිටවන මගීන්ට වඩාත් පහසු, විශ්වාසනීය සහ කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබාගැනීමේ අවස්ථාව උදාවී ඇති අතර ගුවන්තොටුපළ හා ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම තුළින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට සහ රටේ ආර්ථික ක්‍රියාකාරකම්වල වර්ධනයට ද ධනාත්මක දායකත්වයක් සැලසෙනු ඇති බවද අමාත්‍යාංශය අපේක්ෂා කර තිබේ.