ඉබෝලා නිසා පැනවූ සංචාරක සීමා ගැන නැවත සිතන්නැයි WHO ඉල්ලයි
May 31, 2026 06:46 pm
කොංගෝ රාජ්‍යය සහ අසල්වැසි උගන්ඩාව ඉලක්ක කර ගනිමින් විවිධ රටවල් විසින් පනවා ඇති සංචාරක සීමා කිරීම් පිළිබඳව නැවත සලකා බලන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් ලෝක රටවලින් ඉල්ලීමක් කරයි.
නැගෙනහිර කොංගෝවේ වෛරස් ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය වන 'බුනියා' නගරයේ නිරීක්ෂණ සංචාරයක නිරත වෙමින් ටෙඩ්රොස් මහතා පෙන්වා දුන්නේ, සංචාරක සීමා පැනවීම් හේතුවෙන් මහජන සෞඛ්‍ය ක්ෂේත්රයේ විශ්වාසය සහ විනිවිදභාවය පළුදු විය හැකි බවයි.
වසංගත මර්ධන වැඩපිළිවෙළක් සාර්ථක කර ගැනීම සඳහා එම කරුණු දෙකම අත්‍යවශ්‍ය වන බව ද ඔහු අවධාරණය කළේය.
සෞඛ්‍ය බලධාරීන් විසින් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා ගැනීම, නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම සහ වෛරසය පාලනය කිරීමේ උත්සාහයන් අඛණ්ඩව සිදු කරන පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියාගේ මෙම බුනියා සංචාරය සිදුවී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම දත්තවලට අනුව, කොංගෝ රාජ්‍යය තුළ මේ වනවිට සැකකටයුතු ඉබෝලා ආසාදිතයන් 906ක් සහ සැකකටයුතු මරණ 223ක් වාර්තා වී තිබේ.
මේ අතර, අසල්වැසි උගන්ඩාවේ ද ආසාදිතයන් 9 දෙනෙකු සහ එක් මරණයක් තහවුරු වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි මෙම ව්‍යාප්තිය සිදුවන්නේ 'බුන්ඩිබුගියෝ' (Bundibugyo strain) නමැති ඉබෝලා වෛරස් ප්‍රභේදය මඟිනි.
මෙම ප්‍රභේදය සඳහා දැනට අනුමත කරන ලද සාර්ථක එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති වීම සෞඛ්‍ය අංශ හමුවේ ඇති ප්‍රධාන අභියෝගයකි.
