ජපානයෙන් ඩොලර් මිලියන 1.33ක මූල්‍ය ප්‍රදානයක්

ජපානයෙන් ඩොලර් මිලියන 1.33ක මූල්‍ය ප්‍රදානයක්

May 31, 2026   01:20 pm

ජපාන රජය විසින් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 1.33ක මූල්‍ය ප්‍රදානයක් ලබාදී තිබේ. 

ඒ, දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් ජීවනෝපාය අහිමි වූ නැගෙනහිර මිරිදිය ධීවරයින් නගා සිටුවීම සඳහාය. 

ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 29 වෙනිදා කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේදී සිදු විය. 

මෙම ව්‍යාපෘතියට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙනු ලබන්නේ, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසිනි. 

මෙම ගිවිසුමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා සහ ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය නේවාසික නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් යන අය අත්සන් තැබූහ.

එහිදී නැගෙනහිර පළාතේ තෝරාගත් ජලාශ 30ක මත්ස්‍ය කූඩු 200ක් ස්ථාපිත කිරීමට නියමිතය. 

අදාළ ජලාශ සඳහා අවශ්‍ය Barrage Nets පද්ධති ලබාදීම සහ නැගෙනහිර පළාතේ ඉඟිණියාගල මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ පහසුකම් වර්ධනය කිරීමට අවශ්‍ය හෝමෝන සහ රසායනික ද්‍රව්‍ය සැපයීමට අපේක්ෂා කෙරේ. 

ධීවර සමිති සහ නියෝජිතයින්ට මත්ස්‍ය කූඩු සම්බන්ධයෙන් තාක්ෂණික පුහුණු වැඩසටහන් පැවැත්වීම ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් කර තිබේ. 

පළමු වගා වටය සඳහා අවශ්‍ය මත්ස්‍ය පැටවුන් සහ මත්ස්‍ය ආහාර නොමිලේ ලබාදීමට නියමිත බව ධීවර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.