ජාත්‍යන්තර දුම්වැටි - මත් විරෝධී දිනය අදයි

ජාත්‍යන්තර දුම්වැටි - මත් විරෝධී දිනය අදයි

May 31, 2026   12:36 pm

ජාත්‍යන්තර දුම්වැටි - මත්විරෝධි දිනය අද (31)ට යෙදී තිබේ.

මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කළ ලෝක දුම්කොළ නිවාරණ දින තේමාව වන්නේ 'දුම්කොළ කර්මාන්තයේ කූඨ උපක්‍රම හෙළිදරව් කරමු - දුම්කොළ සහ නිකොටින් නිෂ්පාදනයන්ට එරෙහි වෙමු' යන්නයි. 

මේ හරහා, ලොව පුරා ක්‍රියාත්මකවන ශක්තිමත් දුම්කොළ පාලන පියවරයන් අඩපණ කරමින්, නව පරම්පරාවන් (විශේෂයෙන්ම ළමුන් සහ නව යොවුන් වියේ පසුවන්නන්) තම නිෂ්පාදන වෙත ආකර්ෂණය කර ගනිමින්, පාරිභෝගිකයන් ලෙස රඳවා තබාගැනීමට, දුම්කොළ කර්මාන්තය සිය නිෂ්පාදන අලුත් මුහුණුවරකින් ප්‍රතිනිර්මාණය කරමින් සිදුකරන කූඨ උපක්‍රම හෙළිදරව් කිරීමට අපේක්ෂා කරන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

දුම්කොළ කර්මාන්තය විසින් "හානි අවම කිරීමේ" උපාය මාර්ග ලෙසත් දුම්පානයට වඩා ආරක්ෂිත විකල්පයන් ලෙසත් ඊ-සිගරට් වැනි නිෂ්පාදන දිගින් දිගටම ප්‍රවර්ධනය කරමින් පවතී. 

මෙම උපාය මාර්ග විශේෂයෙන් තරුණයින් අතර, වක්‍රව දුම්කොළ සහ නිකොටින් භාවිතය දිරිමත් කරන අතර, කර්මාන්තයට වාසිදායක වන පරිදි පාරිභෝගිකයන් රඳවා තබාගැනීමට උපකාරී වේ. 

නවීන, අඩු අවදානම් සහිත නිෂ්පාදන ලෙස ඊ-සිගරට් ආදිය ප්‍රවර්ධනය කරමින්, දුම්කොළ කර්මාන්තය එහි ප්‍රතිරූපය නැවත ගොඩනඟා ගැනීමටත්, එහි වෙළඳපොළ පුළුල් කිරීමටත් උත්සාහ දරන අතර, නිකොටින් නිෂ්පාදන මත පාරිභෝගිකයන් අඛණ්ඩව යැපීම හරහා දිගුකාලීන ලාභ සුරක්ෂිත කර ගැනීම ඔවුන්ගේ අරමුණයි.

දුම්පානයේ ආර්ථික සහ සෞඛ්‍යමය බලපෑම ඉතා විශාල වන අතර, එය සෑම වසරකම වළක්වා ගත හැකි මරණ 20,000 කට පමණ හේතු වේ.

තවද, දුම්කොළ භාවිතය බෝ නොවන රෝග වැළඳීමට බලපාන ප්‍රධාන අවදානම් සාධක හතරෙන් එකක් ලෙස හඳුනාගෙන ඇති අතර, රටේ සෞඛ්‍ය බර තවදුරටත් තීව්‍ර කරමින්, ශ්‍රී ලංකාවේ සමස්ත මරණවලින් 83% කට බෝ නොවන රෝග හේතු වේ. 

එමෙන්ම, ශ්‍රී ලාංකිකයන් දිනකට දුම්වැටි සඳහා පමණක් රුපියල් මිලියන 520ක් වැනි දැවැන්ත මුදලක් වැය කරන අතර, ආහාර, අධ්‍යාපනය වැනි පවුලක මූලික අවශ්‍යතා සඳහා වෙන් කළ යුතු මුදල් මේ වෙනුවෙන් නාස්ති කිරීම හේතුවෙන්, දැනටමත් ආර්ථික වශයෙන් පීඩාවට ලක්ව ඇති පවුල් දරිද්‍රතාවයේ පතුලටම ඇද දමයි.

තවද, 2019 වසරේදී රජය විසින් උපයා ගන්නා ලද සිගරට් බදු ආදායම රුපියල් බිලියන 92.9ක් වුවද, දුම්පානය හේතුවෙන් රජයට දැරීමට සිදු වූ සෞඛ්‍ය සහ ආර්ථික පිරිවැය රුපියල් බිලියන 214 ක් විය. 

2026 ලෝක දුම්කොළ නිවාරණ දිනය නිමිත්තෙන්, මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) ප්‍රතිපත්ති සම්පාදකයින්, සෞඛ්‍ය වෘත්තිකයන්, සිවිල් සංවිධාන සහ සමස්ත මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දුම්කොළ භාවිතය නිසා ඇති වන විනාශකාරී හානිවලින් වර්තමාන සහ අනාගත පරම්පරාවන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතු කැපවීම තවදුරටත් ශක්තිමත් කරන ලෙසයි.