සමාජ මාධ්‍ය තහනමෙන් දරුවන් තවත් අවදානමක?
May 31, 2026 10:35 am
වයස අවුරුදු 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමෙන් ඔවුන් ආරක්ෂා වන බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ස්කොට්ලන්තයේ ළමා කොමසාරිස්වරිය පවසා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඇය අනතුරු අඟවන්නේ මෙවැනි තහනමකින් සිදු වන්නේ දරුවන් මීට වඩා අවදානම් සහගත සහ නීති විරෝධී වෙබ් අඩවි වෙත යොමු වීමට ඉඩ ඇති බවයි.
ඒ වෙනුවට කළ යුත්තේ සමාජ මාධ්‍ය සමාගම් වගකීම් සහගත ලෙස බැඳ තැබීම බව ඇය පවසා ඇත.
සමාජ මාධ්‍ය භාවිතය සඳහා අවම වයස් සීමාවක් පැනවිය යුතුද යන්න පිළිබඳව බ්‍රිතාන්‍ය රජය පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ඇය මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.
සමාජ මාධ්‍ය මඟින් දරුවන්ට නොයෙකුත් හිරිහැර, සූරාකෑම් සහ හානිකර දේවලට මුහුණ දීමට සිදුවිය හැකි බව ඇය පිළිගෙන ඇති නමුත්, ඒ සමඟම දරුවන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට, තොරතුරු සෙවීමට සහ එකිනෙකා සමඟ සම්බන්ධ වීමට ද සමාජ මාධ්‍ය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ඇය පෙන්වා දෙයි.
"මෙවැනි තහනම් කිරීම් ගැන තවමත් ඇත්තේ සීමිත සාක්ෂි ප්‍රමාණයක්. මෙවැනි තොග පිටින් පනවන තහංචි නිසා සමාජ මාධ්‍ය සමාගම් තමන්ගේ වගකීම්වලින් මිදී, එම වගකීම දරුවන් පිට පැටවීමේ අවදානමක් තියෙනවා," යැයි ඇය පැවසුවාය.
විශේෂයෙන්ම ඈත පළාත්වල ජීවත් වන දරුවන්ට, විදේශයන්හි සිටින තම පවුලේ අය සමඟ සම්බන්ධ වන දරුවන්ට සහ ආබාධිත දරුවන්ට මෙවැනි තහනමකින් වඩාත් අහිතකර බලපෑම් එල්ල විය හැකි බව ඇය සඳහන් කරයි.
එබැවින් ඇය නිර්දේශ කරන්නේ, සමාජ මාධ්‍යවල තිබෙන හානිකර අංග පාලනය කිරීමටත්, දරුවන්ගේ වයසට සහ පරිණතභාවයට ගැළපෙන නීති සකස් කිරීමටත් කටයුතු කළ යුතු බවයි.
මේ අතර, දරුවන් අන්තර්ජාලය තුළ වඩාත් හොඳින් ආරක්ෂා කරන්නේ කෙසේද යන්න සොයා බැලීම සඳහා බ්‍රිතාන්‍ය රජය 2026 මාර්තු මාසයේදී විශේෂ සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙහිදී සමාජ මාධ්‍ය සඳහා නීත්‍යානුකූල අවම වයස් සීමාවක් පැනවීම, වීඩියෝ ඉබේම ධාවනය වීම සහ සීමාවක් නොමැතිව පහළට යා හැකි පිටු වැනි අංග පාලනය කිරීම සහ දැඩි ලෙස වයස පරීක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ.
