සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ මෙරට කියුබානු තානාපතිවරිය අතර සාකච්ඡාවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ මෙරට කියුබානු තානාපතිවරිය අතර සාකච්ඡාවක්

May 30, 2026   09:37 pm

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලංකාවේ කියුබානු ජනරජයේ තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා මහත්මිය අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම උදෙසා වූ  සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙහිදී, ශ්‍රී ලංකාව සහ කියුබානු ජනරජය අතර පවතින දිගුකාලීන සබඳතා පිළිබඳවත්, එම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳවත් විශේෂ අවධානය යොමු විය.

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සමීප සබඳතා සිහිපත් කරමින්, දෙරට අතර පවතින සබඳතා වැඩි දියුණු කිරීමෙහි සහ දෙරටේ සහයෝගීතාවයන් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මේ අතර, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් සාර්ථක පියවරයන් මෙන්ම ඉදිරි අභියෝග ජයගැනීම සඳහා ක්‍රියාත්මක සැලසුම්ගත වැඩපිළිවෙල පිළිබඳ කරුණු ද මෙහිදී පැහැදිලි කර ඇත.

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දිගුකාලීන සහ ඉතා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවයක් බවත්, කියුබාව සතු දියුණු මහජන සෞඛ්‍ය පද්ධතිය සහ ජෛව තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීම සඳහා විවිධ අවස්ථාවලදී උපකාර කර ඇති බවද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදී.

තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා ගුවේරා මහත්මිය අදහස් දක්වමින් පවසා ඇත්තේ, කියුබානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සහ ක්‍රියාත්මක වූ මදුරු පාලන ව්‍යාපෘති, ඩෙංගු රෝගය තුරන් කිරීම සඳහා කියුබානු විශේෂඥ දැනුම ලබාදීම මෙන්ම ඖෂධ සහ එන්නත් නිෂ්පාදන කටයුතු ද මෙරට සිසුන්ට කියුබාවේ වෛද්‍ය අධ්‍යාපනය ලබාදීම මෙන්ම ශිෂ්‍යත්ව ආදී ක්ෂේත්‍රයන්හි නව ප්‍රවේශයන් පිළිබදව ද දීර්ඝව අදහස් දක්වා ඇත.

මේ අතර, කොවිඩ්-19 සමයේදී කියුබාව නිපදවූ 'Abdala' වැනි එන්නත් පිළිබඳවත්, අනුව ඉදිරියේදී එන්නත් නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳවත් සාකච්ඡා කළ අතර, මෙරටට බලපෑ සුනාමි ව්‍යසනය ඇතුළු හදිසි ආපදා සහ හදිසි අවස්ථාවලදී අවශ්‍ය සහය ලබාදීමට හැකි වු බව ද තානාපතිනිය මෙහි දී සිහිපත් කර ඇත.