විනය විරෝධී වැඩ තහනම් රියදුරන් තවමත් වැටුප් ලබන බව හෙළිවෙයි

විනය විරෝධී වැඩ තහනම් රියදුරන් තවමත් වැටුප් ලබන බව හෙළිවෙයි

May 30, 2026   03:00 pm

ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල විවිධ විනය ගැටළු හේතුවෙන් වැඩ තහනමට ලක් වූ ඇතැම් රියදුරන් තවදුරටත් වැටුප් ලබා ගනිමින් සිටින බවට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

විනය ගැටළු හේතුවෙන් රියදුරන් 400ත් 500ත් අතර පිරිසක් වැඩ තහනමට ලක්ව සිටින අතර ඔවුන්ගෙන් ඇතැම් රියදුරන් තවදුරටත් වැටුප් ලබා ගනිමින් සිටින බව එහිදී නිලධාරීන් පෙන්වා දී ඇත.

විවිධ නීතිමය තත්ත්වයන් යටතේ අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් මෙලෙස වැටුප් ගෙවීම සිදුවන අතර වැඩ තහනමට ලක්ව සිටින ඇතැම් රියදුරන් පෞද්ගලික බස්රථවල රියදුරු වෘත්තියේ යෙදෙමින් ආදායම් උපයන බවට ද නිරීක්ෂණය වී ඇති බව එම නිලධාරීන් පෙන්වා දී ඇත.

ඉදිරිපත් වූ කරුණ සැලකිල්ලට ගත් ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අවශ්‍ය නීතිමය උපදෙස් කඩිනමින් ලබා ගනිමින් විනය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.