ජාතික තරුණ ප්‍රතිපත්තිය සකස් කිරීමේ මෙහෙයුම් කමිටුව රැස්වෙයි
May 30, 2026 02:54 pm
ජාතික තරුණ ප්‍රතිපත්තියට අදාළ කෙටුම්පත සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් කර තිබේ.
ඒ අනුව එම කෙටුම්පත මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කර ඇති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.
කෙටුම්පත පිළිබඳව කමිටුවේ අදහස් හා යෝජනා ලබාගැනීම වෙනුවෙන් මූලික සාකච්ඡාවක් ඊයේ (29) එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලයේදී පවත්වා ඇත.
ඒ අනුව කෙටුම්පත පිළිබඳව අදහස හා යෝජනා ලබා ගැනීමෙන් පසු , මෙරට පළාත් නවය තුළ වෙන් වෙන් වශයෙන් සාකච්ඡා පවත්වා, මහජන අදහස් ලබා ගැනීමට නියමිතය.
මෙම මෙහෙයුම් කමිටුව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබේ.
මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යය දිනිඳු සමන් හෙන්නායක, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ වෛද්‍ය දයානාත් රණතුංග යන මහත්වරුන් මෙන්ම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හා තරුණ කටයුතු විෂයට සම්බන්ධ වෙනත් අමාත්‍යාංශවල නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
