දිලිත් ජයවීරගේ වෙසක් දින පණිවුඩය

දිලිත් ජයවීරගේ වෙසක් දින පණිවුඩය

May 30, 2026   08:17 am

වෙසක් මංගල්‍යය ආශ්‍රිත බොදු සංස්කෘතිය, බුද්ධ ශාසනයේ උන්නතිය සහ මතු පරපුරට ඒ මහා සංස්කෘතිය දයාද කිරීම වටා ගොඩ නැගී තිබෙන බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දිලිත් ජයවීර මහතා පවසයි.

සිය වෙසක් දින පණිවුඩය යොමුකරමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, රටත්, බෞද්ධ ප්‍රජාවත් සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය මෙනෙහි කරමින්, ඊට අනුකූලව සිය ජීවිත සකසා ගැනීමට අධිෂ්ඨාන කළ යුතුව ඇති බවය.

දිලිත් ජයවීරගේ වෙසක් දින පණිවුඩය,

අසිරිමත් සම්බුදු තෙමගුල සමරන වෙසක් පුන් පොහෝ දිනය,  සුවහසක් බෞද්ධයන් බුද්ධාලම්භන ප්‍රීතියෙන් උද්ධාමයට පත්වන  දිනයයි.

අප රටේ බෞද්ධ ජනතාව අනාදිමත් කාලයක සිට උතුම් වෙසක් පොහොය දිනය ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් සිදු කරමින් ගත කරති. 

ලොව පුරා බෞද්ධ ජනතාව අතරින් වර්ණවත් සහ විචිත්‍ර වෙසක් සැමරුම් සංස්කෘතියක් අපට හිමිය.

වෙසක් මංගල්‍යය ආශ්‍රිත බොදු සංස්කෘතිය, බුද්ධ ශාසනයේ උන්නතිය සහ මතු පරපුරට ඒ මහා සංස්කෘතිය දයාද කිරීම වටා ගොඩ නැගී තිබේ.

කෙසේ වෙතත් අප මෙවර වෙසක් උත්සවය සමරන්නේ මෙරට බුද්ධ ශාසනයට විවිධ ආකාරයේ අභියෝග එල්ල වී තිබෙන අවදියකයි. 

එබැවින් මේ අප රටත්, බෞද්ධ ප්‍රජාවත් අප සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය මෙනෙහි කරමින්, ඊට අනුකූලව සිය ජීවිත සකසා ගැනීමට අධිෂ්ඨාන කළ යුතු සමයකි.

මේ සම්මා සතිය සහ සම්මා දිට්ඨිය මත ම පිහිටා කටයුතු කළ යුතු යුගයකි. ඒ සඳහා උතුම් වෙසක් දිනය අපට මග පෙන්වයි.

ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවටත්, ලොව පුරා වෙසෙන සියළුම බෞද්ධයන්ටත් මෙත් සිසිලෙන් සිත් සැනසෙන උතුම් වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරමි.