බස් රථයක් පෙරළී 26කට තුවාල

බස් රථයක් පෙරළී 26කට තුවාල

May 29, 2026   03:40 pm

මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ තිස් එකේ හන්දිය ප්‍රදේශයේදී අද (29) දහවල් ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී අනතුරක් සිදුවී තිබේ.

අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ, බස් රථය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකට පෙරළී යාමෙන් මෙම අනතුර සිදුවී ඇති බවය.

එම අනතුරෙන් තුවාල ලැබූ 26 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

තුවාලකරුවන් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර කාන්තාවන් 11ක්, පිරිමි පුද්ගලයින් 15ක් ඒ අතර වෙයි.

තුවාලකරුවන් අතර මාස 5ක් පමණ වයසැති කුඩා බිලිඳෙකු ද සිටින බවට වාර්තා වෙයි.

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ මොනරාගල - කොටියාගල අතර ධාවනය වූ ලංගම බස් රථයකි.

අනතුරට හේතුව බස් රථයේ රියදුරුට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් බවට සැක කෙරෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.