ඉදිරි වසර කිහිපය තුළ රාජ්‍ය ආයතනවල දැවැන්ත තාක්ෂණික පරිවර්තනයක් - හාන්ස් විජේසූරිය
May 28, 2026 05:42 pm
මේ වනවිට 3% ක මට්ටමක පවතින ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික දායකත්වය 2030 වසර වනවිට 12% දක්වා වර්ධනය කිරීම රජයේ ප්‍රධාන අරමුණ බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පවසයි.
ඊයේ (27) කොළඹ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) හි පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකදී ඔහු සඳහන් කළේ, රාජ්‍ය ආයතන පද්ධතිය ඩිජිටල්කරණය කරමින් කාර්යක්ෂම සහ ගුණාත්මක රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීම මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණ බවය.
ඩිජිටල් ආර්ථික සංවර්ධනය යනු සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් ආර්ථික ක්‍රියාකාරකම් සිදු කිරීම මඟින් කාර්යක්ෂමතාව, ගුණාත්මකභාවය සහ ආදායම් වර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාවලියක් බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙය “මහජන සේවා ප්‍රශස්තකරණයට බලපෑම් කළ හැකි ආයතනික නියමු ජාලය” පිහිටුවීමේ පළමු පියවර ලෙස ක්‍රියාත්මක වන අතර, රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණ විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද මෙහිදී පැවැත්විණ.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද 3/2026 චක්‍රලේඛය අනුව රාජ්‍ය ආයතනවල “Champions Network” සඳහා සුදුසු නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීමද මේ යටතේ සිදු කෙරේ.
ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පෙන්වා දුන්නේ ඩිජිටල් ආර්ථිකය යනු සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් ආර්ථික කාර්යක්ෂමතාව, ගුණාත්මකභාවය සහ ආදායම් වර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාවලියක් බවය.
තවද, ඉදිරි වසර තුනක කාලය තුළ රාජ්‍ය ආයතන අතර ගනුදෙනු බැංකු පද්ධතියක් මෙන් ජාලගත ඩිජිටල් පද්ධතියක් මත ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම ඉදිරි වසර කිහිපය තුළ රටේ සියලු රාජ්‍ය ආයතනවල සිදුවන මෙම අති දැවැන්ත තාක්ෂණික පරිවර්තනය වෙනුවෙන් රාජ්‍ය ආයතනවල මෙන්ම රටේ සමස්ත පුරවැසියන්ගේ සහයෝගය ඉතාම වැදගත් බව ආචාර්‍ය හාන්ස් විජේසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය රනිල් පීරිස් මහතා PIC-NET වැඩසටහනේ අනාගත සැලසුම් පිළිබඳව දැනුවත් කර ඇති අතර, රාජ්‍ය සේවා සම්පූර්ණයෙන්ම ඩිජිටල් කිරීමෙන් පුරවැසියන්ට නැවත නැවත එකම තොරතුරු ලබාදීමට සිදු නොවන පද්ධතියක් නිර්මාණය කළ හැකි බවද පෙන්වා දී ඇත.
මෙම වැඩසටහන ජනාධිපති කාර්යාලය, GovTech Sri Lanka, KPMG ආයතනය සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගයෙන් ක්‍රියාත්මක වේ.
