ඉදිරි වසර 5 තුළ මිහිතලයේ උණුසුම වාර්තාගත ලෙස ඉහළ යන ලකුණු

ඉදිරි වසර 5 තුළ මිහිතලයේ උණුසුම වාර්තාගත ලෙස ඉහළ යන ලකුණු

May 28, 2026   05:01 pm

ඉදිරි වසර පහ තුළ සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළම මට්ටම්වලට ආසන්න වනු ඇතැයි පුරෝකථනය කරන බව එක්සත් ජාතීන්ගේ කාලගුණ විද්‍යා ඒජන්සිය සහ එක්සත් රාජධානියේ කාලගුණ විද්‍යා කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ අනෙකුත් කලාපවලට වඩා ආක්ටික් කලාපයේ උෂ්ණත්වය වේගයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවය.

උෂ්ණත්වය සහ වර්ෂාපතනය පිළිබඳ කලාපීය අනාවැකි ඉදිරිපත් කරන මෙම වාර්ෂික වාර්තාවට අනුව වාර්ෂික ගෝලීය සාමාන්‍ය මතුපිට උෂ්ණත්වය 1850-1900 පූර්ව කාර්මික විප්ලවයට පෙර පැවති මට්ටමට වඩා 1.3°Cත් 1.9°Cත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් රාජධානියේ කාලගුණ විද්‍යා කාර්යාලයේ පර්යේෂණ විද්‍යාඥ Melissa Seabrook සඳහන් කළේ "ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 මට්ටමේ රඳවා ගැනීමට ඇති අවස්ථාව වේගයෙන් ගිලිහී යමින් පවතින බව විද්‍යාත්මකව ඉතා පැහැදිලියි" ලෙසය.

2015 පැරිස් ගිවිසුමේදී රජයන් පොරොන්දු වූයේ සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පූර්ව කාර්මික මට්ටමට වඩා 1.5°C ඉක්මවා යාම වැළැක්වීමට උත්සාහ කරන බවය.

එම සීමාව ඉක්මවා ගියහොත් දරුණු දේශගුණික විපර්යාසයන්ගේ තීව්‍රතාවය තවදුරටත් වර්ධනය වනු ඇතැයි සැලකේ.

2024 වාර්තාගත උණුසුම්ම වසරේ වාර්තාව බිඳ වැටෙන ලකුණු

2026 සහ 2030 අතර කාලය තුළ අවම වශයෙන් එක් වසරක් හෝ ගෝලීය මතුපිට උෂ්ණත්වය 1850-1900 සාමාන්‍ය මට්ටමට වඩා 1.5°C ඉක්මවා යාමට බොහෝ දුරට ඉඩ කඩ ඇති බව අදාළ වාර්තාව පෙන්වා දී තිබේ. 

එය ලොව උණුසුම්ම වසර ලෙස වාර්තා වූ 2024 වසරේ උෂ්ණත්වය ද අභිබවා යනු ඇතැයි පුරෝකථනය කර ඇත.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් රාජධානියේ කාලගුණ විද්‍යා කාර්යාලයේ පර්යේෂණ විද්‍යාඥ Melissa Seabrook සඳහන් කළේ " සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 මට්ටමේ රඳවා ගැනීමට ඇති කාලය වේගයෙන් සීමා වෙමින් පවතින බව විද්‍යාත්මකව ඉතා පැහැදිලියි" ලෙසය.

වඩාත් දරුණු කාලගුණික තත්ත්වයන්

ඉදිරි වසර පහ තුළ උතුරු අර්ධගෝලයේ ආක්ටික් ශීත ඍතු උෂ්ණත්වය ගෝලීය සාමාන්‍යයට වඩා 3.5 ගුණයකටත් වඩා වැඩි වේගයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එය 1991-2020 මූලික මට්ටමට වඩා වඩා 2.8°Cකින් පමණ ඉහළ යනු ඇත.

ඉදිරි අර්ධ දශකය තුළ මාර්තු මාසයේදී බැරන්ට්ස් මුහුද (Barents Sea), බෙරිං මුහුද (Bering Sea) සහ ඔකොට්ස්ක් මුහුදේ (Sea of Okhotsk) ආක්ටික් මුහුදු අයිස් දියවී යනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

ආක්ටික් කලාපය උණුසුම් වීම නිසා කාලගුණ පද්ධතීන්ට බාධා එල්ල විය හැකි අතර, විශේෂයෙන් ලෝකයේ උතුරු ප්‍රදේශවල වඩාත් දරුණු කාලගුණික තත්ත්වයන් ඇති වීමට එය හේතු විය හැකි බව ද සඳහන්.

ඉදිරි ශීත ඍතු පහ තුළ උතුරු අර්ධගෝලයේ වඩාත් වැසි සහිත කාලගුණයක් පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, මැයි-සැප්තැම්බර් මාසවලදී උතුරු යුරෝපය, ඇලස්කාව, සයිබීරියාව සහ සහෙල් (Sahel) කලාපවලට අධික වැසි සහිත කාලපරිච්ඡේදයන් ඇති විය හැක. 

එමෙන්ම මෙම කාල වකවානුවේදී ඇමසන් කලාපයට වියළි කාලගුණයක් පුරෝකථනය කර ඇත.

මෙම වසරේ ශීත ඍතුවේදී ප්‍රබල 'එල් නිනෝ' තත්ත්වයක් ද පුරෝකථනය කර ඇති අතර, එය 2027 දක්වා පැවතිය හැකි බවත් පැසිෆික් සාගරය උණුසුම් වීම හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය වාර්තාගත මට්ටමකින් ඉහළ යා හැකි බවත් සඳහන්.