ජීවිත බිලිගන්න මාරක අනතුරු - යතුරුපැදිකරුවන් තිදෙනෙකුට දිවි අහිමි වෙයි  

ජීවිත බිලිගන්න මාරක අනතුරු - යතුරුපැදිකරුවන් තිදෙනෙකුට දිවි අහිමි වෙයි  

May 28, 2026   09:21 am

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ යතුරුපැදි අනතුරු කිහිපයකින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 

ඊයේ (27) සවස මඩකලපුව පොලිස් වසමේ මඩකලපුව තිරුපන්තුර අතුරු මාර්ගයේ මඩකලපුව ගුවන් හමුදා කඳවුර ආසන්නයේදී තිරුපන්තුර දෙසට ධාවනය වූ යතුරුපැදියක්  පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කලපුවට පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත. 

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 20ක් වූ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මේ අතර, පොලොන්නරුව පොලිස් වසමේ දිවුලාන අතුරු මාර්ගයේ දිවුලාන දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී ඊයේ (27) සවස අනතුරක් සිදුව ඇත. 

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා පොලොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පැදිකරුවෙකු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 17ක් වූ ඕනෑගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘතශරීරය පොලොන්නරුව රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පොලොන්නරුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මේ අතර, ඊයේ (27) දහවල් බිංගිරිය පොලිස් වසමේ අළුපොත අකරවත්ත මාර්ගයේ හමන්නාපහුව ප්‍රාථමික විද්‍යාලය ආසන්නයේදී දළුපොත දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකරුවන් දෙදෙනා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පැදිකරුවෙකු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 76ක් වූ නාගොල්ලාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.