ශ්‍රී ලංකාවේ නව වතිකානු තානාපතිවරයා ශුද්ධෝත්තම පාප් වහන්සේ වෙත අක්තපත්‍ර පිළිගන්වයි
May 28, 2026 06:56 am
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති සුමිත් දසනායක මහතා, වතිකානු පුරවරයේ අපොස්තලික මාලිගයේදී ශුද්ධෝත්තම දහහතරවන ලියෝ පාප් වහන්සේ වෙත සිය අක්තපත්‍ර පිළිගන්වා තිබේ.
ඒ අනුව ඒ මහතා ජිනීවාහි පදිංචිව සිටිමින් ශුද්ධ වූ ආසනයේ ශ්‍රී ලංකාවේ මීළඟ තානාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.
මැයි 21 වෙනිදා පැවැති මෙම අක්තපත්‍ර ප්‍රදානෝත්සවය අමතමින් ශුද්ධෝත්තම දහහතරවන ලියෝ පාප් වහන්සේ ප්‍රකාශ කර සිටියේ, "තමන්ගේ ආධිපත්‍යය තහවුරු කරගැනීමේ කොන්දේසියක් ලෙස ආයුධ මඟින් සාමය සෙවීමට උත්සාහ කරන මෙවන් කාලවකවානුවක, ද්විපාර්ශ්වික, කලාපීය සහ බහුපාර්ශ්වික යන සෑම මට්ටමකින්ම සංවාදයන් ප්‍රවර්ධනය කරන සහ එකඟතාවන් සොයා යන රාජ්‍ය තාන්ත්‍රිකභාවයකට නැවත නැඹුරු වීමේ හදිසි අවශ්‍යතාවක් පවතින" බවය.
තානාපතිවරුන්ගේ සේවය, අදාළ රටවල් සහ ශුද්ධ වූ ආසනය අතර විශ්වාසය සහ සහයෝගීතාවය ගොඩනංවන වැදගත් පාලමක් වන බව ද පාප් වහන්සේ මෙහිදී අවධාරණය කළහ.
වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, "අපගේ ඒකාබද්ධ උත්සාහයන් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සබඳතා සඳහා නව පණක් ලබාදීමට දායක වනු ඇති අතර, අපගේ සමාජයන්හි කොන්වී සහ අමතක වී සිටින ජනතාව වෙත අවධානය යොමු කිරීමට ද උපකාරී වනු ඇත. ඒ ඔස්සේ වඩාත් සාධාරණ, සහෝදරත්වයෙන් පිරි සහ සාමකාමී ලෝකයක් සඳහා ශක්තිමත් පදනමක් දැමීමට අපට එක්ව කටයුතු කළ හැකියි" යනුවෙන් ද පැවසූහ.
මෙහිදී තානාපති සුමිත් දසනායක මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උණුසුම් සුබපැතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේ වෙත පිරිනැමූ අතර, ශ්‍රී ලංකාව සහ එහි ජනතාව වෙනුවෙන් යාච්ඤා කරන ලෙස ද උන්වහන්සේගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාව සහ ශුද්ධ වූ ආසනය අතර පවතින දිගුකාලීන මිත්‍රශීලී සබඳතා සිහිපත් කළ තානාපති සුමිත් දසනායක මහතා, 2027 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දහහතරවන ලියෝ පාප් වහන්සේ වෙත දැනටමත් කර ඇති ආරාධනය නැවත වරක් සිහිපත් කළේය.
මෙම අක්තපත්‍ර ප්‍රදානෝත්සවයට සමගාමීව, තානාපති සුමිත් දසනායක මහතා වතිකානු රාජ්‍ය ලේකම්, අතිඋතුම් පීටර් පැරොලින් කාදිනල්තුමා ද හමුවී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කළ බව එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම, ශ්‍රී ලංකාව සහ ශුද්ධ වූ ආසනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර 50 වැනි සංවත්සරය සැමරීම සඳහා 2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ, රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු Paul Richard Gallagher හිමි ද තානාපතිවරයා විසින් හමුවිය.
එහිදී අගරදගුරු Paul Richard Gallagher හිමි තමන්ගේ ශ්‍රී ලංකා සංචාරය, එහි වැදගත්කම සහ ශ්‍රී ලංකාවෙන් ලැබුණු උණුසුම් ආගන්තුක සත්කාර පිළිබඳව අගය කරමින් සිහිපත් කළ බව ද වාර්තා වේ.
තානාපති සුමිත් දසනායක මහතා සමඟ සියෙරා ලියොන්, බංග්ලාදේශය, යේමනය, රුවන්ඩාව, නැමිබියාව, මුරුසිය සහ චැඩ් යන රටවල මෙරට නේවාසික නොවන තානාපතිවරුන් ද එදිනම දහහතරවන ලියෝ පාප් වහන්සේ වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූහ.
