පස්වන සහ හයවන සමාලෝචන සඳහා IMF අනුමැතිය
May 28, 2026 02:57 am
ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පස් වන සහ හය වන සමාලෝචනය සම්පූර්ණ කරමින් ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ (27) රැස් වු අවස්ථාවේදී මෙම අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් හිමිවිමට නියමිතව තිබේ.
විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ 2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන 3ක මුල්‍ය පහසුකමක් අනුමත කරනු ලැබීය.
එහි පස් වන සහ හය වන සමාලෝචනය අනුමත කිරීම සඳහා IMF විධායක මණ්ඩලය ඊයේ රැස් වු අතර එම රැස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සඳහන් කළේ, අභියෝගාත්මක තත්ත්වය මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකාව විස්තීරණ අරමුදල් පහසුකමේ විධිවිධාන ශක්තිමත්ව ක්‍රියාත්මක කර ඇති බවය.
දිට්වා සුළි කුණාටුවට සහ මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අවදානමක් පවතින බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.
2026 වර්ෂයේ ආර්ථික වර්ධනය සියයට 3ක මට්ටම දක්වා මන්දගාමී වනු ඇති බවට පුරෝකථනය කර ඇති අතර ඉන්ධන මිල ඉහළ යාම, සංචාරක ලැබීම් අඩුවීම ඒ සඳහා හේතු වී ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරිම අවසන් වීමට ආසන්නව ඇති නමුත් ණය තිරසාර අවදානම ඉහළ මට්ටමක පවතින බැවින් මුල්‍ය ප්‍රතිපත්තිය මිල ස්ථාවරත්වයට ප්‍රමුඛත්වය දෙමින් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
මේ අතර යළිත් වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට වත්මන් ආණ්ඩුව අපේක්ෂා නොකරන බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
ඊයේ රාත්‍රී ටී.වී.දෙරණ ඔස්සේ විකාශය වු අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සමග එක්වෙමින් චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කෙසේවෙතත් එම වැඩසටහනට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත්.පී.පෙරේරා මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීම මෙරට ආර්ථික ස්ථාවරත්වයට විශාල ශක්තියක් වනු ඇති බවය.
