පරාක්‍රමබාහු යුගය සිහිපත් කරමින් සෝභිත හිමි ජනපතිගෙන් කල ඉල්ලීම
May 27, 2026 11:20 pm
බුදු සසුන විනාශ කිරීම සඳහා වර්තමානයේ දෘශ්‍යමාන සහ අදෘශ්‍යමාන සතුරු බලවේග රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, එය වැළැක්වීම සඳහා වහාම සංඝාධිකරණයක් ක්‍රියාත්මක කළ යුතු බවත් පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසති.
ජනධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර මිදෙල්ලවල පුරාණ රජමහා විහාරයේ අද (27) පැවති රාජ්‍ය වෙසක් සතියේ ආරම්භක උත්සවය අමතමිනි උන් වහන්සේ මේ බව පැවසූහ.
මෙහිදී සෝභිත හිමියන් විසින් ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් කරුණු කිහිපයක් අවධාරණය කරමින් ජනාධිපතිවරයාගෙන් සෘජු ඉල්ලීම් කිහිපයක්ද සිදු කරන ලදී.
ඕමල්පේ සෝභිත හිමියන් මෙහිදී පෙන්වා දුන්නේ, වර්තමානයේ සසුන තුළම සිටින පිරිස් ශාසන විනාශයට දායක වන බවය.
ඒ අනුව විහාර දේවාලගම් පනත සංශෝධනය විය යුතු බව පෙන්වා දුන් උන්වහන්සේ, 1931 අංක 19 දරන විහාර දේවාලගම් පනතේ 41 සහ 42 වගන්ති භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය සහ ගැලපෙන පරිදි සංශෝධනය කරදීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඕමල්පේ සෝභිත හිමියෝ,
"ඉතාම සංවිධානාත්මකව බුදු සසුන වනසන්නට ක්‍රියා කරන දෘශ්‍යමාන සහ අදෘශ්‍යමාන සතුරු බලවේග රාශියක් ක්‍රියාත්මකයි ජාතික සහ ජාත්‍යන්තර තලයේ.
මහා පරිමාණයෙන් මුදල් ලබන, මුදල් වියදම් කරන පිරිස් භික්ෂුත්වය පරිහානියට පත් කිරීම සඳහා ඉන්නවා.
ඒ වගේම ධර්මය විකෘති කරන පිරිසක් සිවුරු පෙරවගෙන ඉන්නවා, විනය විනාශ කරන පිරිසක් සිවුරු පෙරවගෙන ඉන්නවා, බෞද්ධ දේපොළ අවභාවිතා කරන පිරිසක් සිවුරු පෙරවාගෙන ඉන්නවා.
මේ දේට සක්‍රීයව දායක විය යුතුයි. මහා පරාක්‍රමබාහු රජතුමා ඒ යුතුකම කළා, වෝහාරතිස්ස රජ්ජුරුවෝ, විජයබාහු රජ්ජුරුවෝ, අශෝක මහාරජතුමා ඒ යුතුකම කළා.
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි..., ඔබතුමාට ඒ වගකීම වර්තමානයේ පැවරෙනවා.
1931 විහාර දේවාලගම් පනතේ 41, 42 වගන්ති භික්ෂූන් වහන්සේට අවශ්‍ය විදිහට සංශෝධනය කර දෙන්න. සංඝාධිකරණයක් ක්‍රියාත්මකවන තාක් කල් මේ විනාශය අපට අත්දකින්න වෙනවා" යැයි පැවසූහ.
