නිවි නිවි දැල්වෙන මැදපෙරදිග යුද්ධය
May 27, 2026 10:24 pm
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරානය අතර පැවැත්වෙන සාකච්ඡා "ඉතා සාර්ථකව ඉදිරියට යමින් පවතින බව" ධවල මන්දිරය ප්‍රකාශ කර තිබේ.
මාධ්‍ය ආයතන වෙත ඊමේල් පණිවිඩයක් නිකුත් කරමින් ධවල මන්දිරයේ සහකාර මාධ්‍ය ලේකම් ඔලිවියා වේල්ස් සඳහන් කර ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් සිය සීමාවන් පැහැදිලිව පෙන්වා දී ඇති බවයි.
අමෙරිකානු ජනතාව වෙනුවෙන් උපරිම සාධාරණ ගිවිසුමකට පමණක් ජනාධිපතිවරයා එළඹෙනු ඇති අතර, ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමට ඉඩ නොතැබීම එහි ප්‍රධානතම කොන්දේසිය බව ඇය අවධාරණය කර ඇත.
මේ අතර, අමෙරිකා-ඊශ්‍රායල යුද්ධය අවසන් කිරීම සඳහා දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගෙන තිබෙන බවට ඉරාන මාධ්‍ය පළ කළ වාර්තා ධවල මන්දිරය විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ ඒවා "සම්පූර්ණ අසත්‍ය ප්‍රබන්ධ" බව පවසමිනි.
ධවල මන්දිරයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර මාධ්‍යවේදීන් ඇමතූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ, ඉරාන නායකයින් "ගිවිසුමකට එළඹීමට දැඩි කැමැත්තකින් පසුවන බව" තමන් විශ්වාස කරන නමුත්, පවතින තත්ත්වය පිළිබඳව තමන් තවම සෑහීමකට පත් නොවන බවය.
ඉරානය තමන්ව මඟහරිමින් කාලය දිනා ගැනීමට උත්සාහ කළ බව පෙන්වා දුන් ට්‍රම්ප්, "ඔවුන් සිතුවේ මම ධුරයෙන් ඉවත්වන තුරු බලා සිටිය හැකි කියායි. නමුත් දැන් ඔවුන්ට ගිවිසුමකට එළඹීම හැර වෙනත් විකල්පයක් නැහැ," යැයි ද පැවසීය.
