නියමිත රෙගුලාසි උල්ලංඝනය කරමින් ටින්මාළු ඇසුම් කළ කර්මාන්ත ශාලාවක් වටලයි

නියමිත රෙගුලාසි උල්ලංඝනය කරමින් ටින්මාළු ඇසුම් කළ කර්මාන්ත ශාලාවක් වටලයි

May 26, 2026   06:50 pm

නියමිත බලපත්‍ර හා නීත්‍යානුකූල රෙගුලාසී උල්ලංඝනය කරමින් සඳලංකාව, ඉරබඩගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ටින්මාළු නිෂ්පාදන හා ඇසුරුම් කර්මාන්ත ශාලාවක් අද (26) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ.

එහිදි එම කර්මාන්ත ශාලාව සතුව තිබූ රුපියල් ලක්ෂ 18කට ආසන්න වටිනාකමකින් යුත් ටින්මාළු තොගයක් සිය භාරවට ගැනීමටද අදාළ බලධාරීන් පියවර ගෙන තිබුණි.

වැටලීම සිදුකරන ලද අවස්ථාවේදී එම කර්මාන්ත ශාලාව තුළ සැමන් ටින් 3,500කට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා ඇසුරුම් කරමින් සිටි බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

මෙම කර්මාන්ත ශාලාව වැඩි ලාභ අපේක්ෂාවෙන් තරග විරෝධී චර්යාවල නිරත වෙමින් සහ කල් ඉකුත්වන දින වෙනුවට ව්‍යාජ දින ටින්මාළු ඇසුරුම් සඳහා යොදා තිබී ඇති බවද මෙහිදී අදාළ නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන තිබේ.

මෙහිදී ටින් මාළු ඇසිරීම සඳහා සූදානම් කර තිබූ ඇසුරුම්, දවටන, ව්‍යාජ දින මුද්‍රණය කිරීම සඳහා යොදා ගන්නා යන්ත්‍ර ඇතුළු තවත් භාණ්ඩ රැසක්ද නිලධාරීන් භාරයට ගැනීමටද පියවර ගෙන ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ වෙළෙඳපොළ හා මහජනතාව තුළින්ම ලද පැමිණිලි අනුව මෙම වැටලීම සිදුකළ බවය.

වැටලීමෙන් මුද්‍රා තබන ලද ටින් මාළු ඇතුළු සියලු භාණ්ඩ ඉදිරි දිනයකදී කුළියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.