2025 විසර්ජන පනතට අදාළ අත්තිකාරම් ගිණුම් සීමා කිහිපයක් සංශෝධනය කිරීමට මුදල් කාරක සභාවේ අනුමතිය
May 26, 2026 12:08 pm
2025 විසර්ජන පනතට අදාළ අත්තිකාරම් ගිණුම් සීමා කිහිපයක් සංශෝධනය කිරීමට මුදල් කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සභාපතිත්වය දරන රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, සභාපතිවරයාගේ නොපැමිණීම දන්වා තිබූ බැවින්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.
2025 වර්ෂය සඳහා අත්තිකාරම් “බී” ගිණුම් 169ක් මෙන්ම ගබඩා, වෙළඳ සහ විශේෂ අත්තිකාරම් ගිණුම් 11ක් සඳහා 2025 අංක 3 දරන විසර්ජන පනතේ තුන්වන උපලේඛනය යටතේ සීමාවන් නියම කර ඇත.
අදාළ වර්ෂය තුළදී උද්ගත වූ අවශ්‍යතාවන් අනුව එලෙස නියම කර ඇති සීමාවන් සංශෝධනය කිරීම සඳහා නිකුත් කර ඇති අංක 1 සිට 44 දක්වා වන නියෝග මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය සඳහා මෙලෙස ඉදිරිපත් කර තිබුණි.
මේ අනුව එම නියෝග දීර්ඝව සලකා බැලීමෙන් අනතුරුව, පහත දැක්වෙන අත්තිකාරම් ගිණුම් සීමාවන් සංශෝධනය කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.
1. රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් “බී” ගිණුම් - නියෝග අංක 1 සිට 36 දක්වා
2. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පොත් මුද්‍රණය, ප්‍රචාරණය හා අලෙවිය අත්තිකාරම් ගිණුම - නියෝග අංක 37
මෙහිදී 2023 වසරේ භාවිතය සඳහා වන ඇතැම් ශ්‍රේණිවල නව විෂය නිර්දේශ මොඩියුලයන්ට අදාළ පෙළපොත් මුද්‍රණය කිරීමේ ප්‍රමාදය සහ විවෘත තරඟකාරී ලංසු කැඳවීම් යටතේ මුද්‍රණය පිරිවැය අඩු වීම අත්තිකාරම් ගිණුම් සීමාවන් අඩුවෙන් භාවිත වීමට මූලික හේතුව බව නිලධාරීහු පෙන්වා දුන්හ.
මොඩියුල ස්ථීර කිරීම සහ පෙළපොත් මුද්‍රණය කිරීම අතර වඩා හොඳ සම්බන්ධීකරණයක් සහ සැලසුම් කිරීමක් සහතික කිරීමේ අවශ්‍යතාවය ද කමිටුව විසින් මෙහිදී අවධාරණය කරන ලදී.
3. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගබඩා අත්තිකාරම් ගිණුම (පුපුරණ ද්‍රව්‍ය) - නියෝග අංක 38
4. ශ්‍රී ලංකා රේගුවේ අත්අඩංගුවට ගන්නා ලද හා රාජසන්තක කරන ලද බඩු ද්‍රව්‍ය පිළිබඳ අත්තිකාරම් ගිණුම - නියෝග අංක 39
5. රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ වෙනත් ආණ්ඩු වෙනුවෙන් ගෙවීම සඳහා අත්තිකාරම් ගිණුම - නියෝග අංක 40
6. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකාර්මික ගොවිපල නඩත්තුව හා බීජ අලෙවිය අත්තිකාරම් ගිණුම - නියෝග අංක 41
7. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ගබඩා අත්තිකාරම් ගිණුම - නියෝග අංක 42
මෙහිදී අමතර කොටස් විශාල තොගයක් ලේඛනගත ක්‍රමයට අකාර්යක්ෂමව කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් කාරක සභාව සිය කණගාටුව පළ කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
වඩාත් කුඩා තොගයක් පවත්වාගනිමින් කළමනාකරණය කිරීම සහ එය වැඩිදියුණු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබේ.
8. රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ ගබඩා අත්තිකාරම් ගිණුම - නියෝග අංක 43
9. රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කළ වැඩ අත්තිකාරම් ගිණුම - නියෝග අංක 44,
මෙම රැස්වීම සඳහා ඒ ඒ අමාත්‍යාංශ නියෝජනය කරමින් අදාළ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
