මනුෂ්‍ය ඝාතන දෙකකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට
May 26, 2026 06:30 am
කොළඹ සහ ගාල්ල ප්‍රදේශවල සිදු වූ මනුෂ්‍ය ඝාතන දෙකකට අදාළව, සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
එහිදී ගිනි අවි සහ උණ්ඩ කිහිපය ද සොයාගෙන ඇත.
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු පසුගිය මැයි 22 වනදා අත්අඩංගුවට ගත්, ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබූ බොරැල්ලේ පදිංචි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
2025 අගෝස්තු 07 වනදා බොරැල්ල සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසලදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත් තිදෙනෙකුට තුවාල සිදුකර තිබුණි.
දැනට රැඳවුම් නියෝග මත කොළඹ දිසා අපරාධ කොට්ඨාසය භාරයේ සිටින මෙම ප්‍රධාන සැකකරු විසින් අපරාධය මෙහෙයවා ඇතිබව අනාවරණය වී ඇත.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් මත අපරාධයට යොදාගත් යතුරුපැදිය ඉංගිරිය ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබේ.
එමෙන්ම, බොරැල්ල ප්‍රදේශයේ වසා දමා තිබූ ඔහුගේ නිවසක වළදමා තිබූ විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර් අවි 02ක් සහ මිලිමීටර් 09 වර්ගයේ ජීව පතොරොම් 04ක් ද සොයාගෙන ඇත.
ඒ අනුව, මෙම අපරාධය සඳහා වෙඩික්කරුට ගිනි අවිය ගෙනවිත් භාරදුන් බව කියන 46 හැවිරිදි මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචි සැකකාරියක ඊයේ (25) රාත්‍රියේදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මේ අතර, ගාල්ල, දංගෙදර ප්‍රදේශයේදී සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 12 වෙනිදා ගාල්ල පොලිස් වසමේ දංගෙදර ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබුණි.
මෙම අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව මත 31 හැවිරිදි අලව්ව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ඊයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
