විමල්ට ඇප
May 25, 2026 02:43 pm
මැයි 18 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර රණවිරු ස්මාරකය අබියස ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇප මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) පස්වරුවේ නියෝග කළේය.
තලංගම පොලීසිය මඟින් අද පෙරවරුවේ ඔහුව අත්අඩංගුවට ගැනුණේ රජයේ නිලධාරීන්ට බලහත්කාරය පෑම යන චෝදනාව මතයි.
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ඉකුත් මැයි 18 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර පිහිටි රණවිරු ස්මාරකය අබියසට පැමිණියේ පුෂ්පෝපහාර දැක්වීමට බව පවසමිනි.
විජයග්‍රහණයේ සැමරුම් වැඩසටහනේ පෙරහුරු ඒ වන විටත් පැවැත්වෙමින් තිබූ අතර එම පරිශ්‍රයට ඇතුළුවීම සඳහා ආරක්ෂක අංශ නිලධාරීන් ඔහුට අවසර ලබා දුන්නේ නැත. ඒ හේතුවෙන් එහිදී නොසන්සුන් තත්ත්වයක් හටගැනුණි.
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට විමල් වීරවංශ මහතාට තලංගම පොලීසියට කැඳවීමක් කර තිබූ අතර ඒ අනුව ඔහු අද පෙරවරු 10ට පමණ එහි පැමිණියේය.
ප්‍රකාශය ලබාගැනීමෙන් පසු දණ්ඩ නීති සංග්‍රහයේ 344 වගන්තිය යටතේ රජයේ නිලධාරීන්ට බලහත්කාරය පෑම යන චෝදනාව මත විමල් වීරවංශ මහතාව තලංගම පොලීසිය විසින් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබුණි.
අනතුරුව විමල් වීරවංශ මහතා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා තලංගම පොලිස් ස්ථානයෙන් රැගෙන ගියේය.
මේ අතර මෙම සිද්ධියට අදාළව විමල් වීරවංශ මහතා සමඟ එදින ප්‍රශ්නගත අවස්ථාවට සහභාගී වූ තවත් අයෙකු තලංගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකරුවන් දෙදෙනාම අද පස්වරුවේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
එහිදී සැකකාර විමල් වීරවංශ මහතා සහ අනෙක් සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කර තිබුණි.
