පෙට්‍රල් දමා බිරිඳට ගිනි තැබූ සැමියා කළ පාපොච්චාරණය
May 24, 2026 01:27 pm
තම බිරිඳගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර සැමියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මීගහවත්ත, අංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් වන පුද්ගලයෙකි.
පසුගිය 18 වෙනිදා පස්වරු 5.30ට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණි ඔහු අදාළ කාන්තාවකගේ හිසට පෙට්‍රල් දමා ගිනි තබා පළා ගොස් තිබේ.
ඉන් බරපතළ තුවාල ලැබූ කාන්තාව එම අවස්ථාවේදීම රෝහල්ගත කර ඇති අතර මේ වන විටත් ඇය කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, ඇයගේ මුහුණ සහ පපුව ප්‍රදේශය බරපතළ පිළිස්සුම් ලැබීම හේතුවෙන් ඇය දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවය.
කෙසේ වෙතත් ඇයගෙන් මේ වන විටත් කටඋත්තර ද ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ, මෙම කාන්තාවගේ නිත්‍යානුකූල ස්වාමිපුරුෂයා විසින් මෙම ගිනි තැබීම සිදු කර ඇති බවය.
ඒ අනුව ක්‍රියාත්මක වුණු පොලිසිය අද (22) මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගෙන් ලද ප්‍රකාශ අනුව සිද්ධිය සඳහා භාවිත කරන ලද පෙට්‍රල් බෝතලයක් සහ ත්‍රී රෝද රථයද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්ය.
සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ තමන් විසින් ගිනි තබා ඇත්තේ තමන්ගේම බිරිඳට බවය.
ඔවුන් දෙදෙනා පෙර විවාහයකින් නීත්‍යානුකූලව වෙන්වීමෙන් අනතුරුව විවාහ වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
කෙසේ වෙතත් මෙම කාන්තාව විවිධ පුද්ගලයන් ඇසුර කර ඇති බවත්, දින ගණනාවක් යන තුරු නැවත නිවසට නොපැමිණෙන බවත් සැකකරු පාපොච්චාරණය කර තිබේ.
ඇයට කොපමණ උපදෙස් ලබාදුන්න ද ඇය දිගින් දිගටම මෙලෙස අනාචාරයේ යෙදී ඇති බවට ඔහු ප්‍රකාශ කර ඇත.
ගිනි තැබීමෙන් අනතුරුව තමන්ද සියදිවි නසාගන්නා බවට සැකකරු කාන්තාවට පවසා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසි සඳහන් කරයි.
මෙම සැකකරු මීට ඉහතදී කිසිම අපරාධයකට කිසිම චෝදනාවකට ලක් නොවූ ත්‍රිරෝද රථ රියදුරෙක් ලෙස කටයුතු කළ අය බවට ප්‍රදේශවාසීන් පැවසු බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
සැකකරු අද (24) දින අලුත්කඩේ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
