කොළඹ - මීගමුව පාරේ වාහන ධාවනය සීමා කිරීමක් ගැන පොලිසියෙන් දැනුම්දීමක්

කොළඹ - මීගමුව පාරේ වාහන ධාවනය සීමා කිරීමක් ගැන පොලිසියෙන් දැනුම්දීමක්

May 23, 2026   02:09 pm

කඳාන පොලිස් වසමේ හපුගොඩ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ වෙසක් මහා පෙරහැර හේතුවෙන් අද (23) දිනයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සම්බන්ධයෙන් පොලිසිය රියදුරන්ට දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

එහි දැක්වෙන්නේ කඳාන, හපුගොඩ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ වාර්ෂික වෙසක් මහා පෙරහර 2026.05.23 දින රාත්‍රී 7:00 ට වීථි සංචාරය ආරම්භ කරනු ලබන බවය.

පෙරහැර විහරස්ථානයේ සිට කඳාන නගරය මධ්‍යයෙන් ගම්පහ කඳාන මාර්ගයේ හා කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ වීථී සංචාරය කර නැවත විහාරස්ථානයට පැමිණීමට නියමිතව ඇත.

මෙම පෙරහැර ගම්පහ කඳාන මාර්ගයේ රාගම වැව හන්දියේ සිට මීගමුව මාර්ගයේ ගණේමුල්ල මංසන්ධිය දක්වා රාත්‍රී 7:00 සිට රාත්‍රී 10:30 දක්වා ගමන් කිරීමට නියමිතය.

තවද, කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ කඳාන ගණේමුල්ල මංසන්ධියේ සිට ආනියාකන්ද රෝහල් හන්දිය දක්වා රාත්‍රී 10:30 සිට පසුදින අළුයම 1:00 දක්වා ගමන් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව පෙරහැර කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීමට නියමිත කාලය තුළ ගණේමුල්ල මංසන්ධිය සිට ආනියාකන්ද රෝහල දක්වා කොළඹ දෙසට ගමන් කරන මංතීරු දෙක වසා තැබීමට සැලසුම් කර ඇත.

මෙම මාර්ග කොටස වසා තබන කාලසීමාව තුළ එම මාර්ගය ඔස්සේ ගමන් කරන රියදුරන්ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම්දෙයි.