ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ 21දෙනා ගැන තවත් කරුණු
May 23, 2026 12:35 pm
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ (22) අලුයම මෙරටට රැගෙන ආ අපරාධකරුවන් 21 දෙනා ගැන තොරතුරු රැසක් හෙළිකර ගැනීමට පොලීසියට හැකිව තිබේ.
මෙලෙස පිටුවහල්කළ පිරිස අතර මෙරට පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන 'මහවත්තේ චාමර' හා 'වනාතේ කුඩු දුමින්ද' ද සිටී.
එරට පැවැති සාදයක් අතරතුරදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අතරින් කුඩු දුමින්ද 2025 වසරේ අගෝස්තු මස 8වනදා බොරැල්ලේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම හා තවත් තිදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය මෙහෙයවා ඇති අයෙකු බව පොලිසිය පැවසීය.
සැකකරු මේ වනවිට වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ.
එමෙන්ම කුඩු දුමින්දගේ සමීපතමයන් පස්දෙනෙකු ඊයේ මෙරටට පිටුවහල් කළ පිරිස අතර සිටින බව පොලිසිය සඳහන් කළේය.
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහවත්තේ චාමර නමැත්තාව වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදී තිබේ.
ඔවුන් හැරෙන්න සෙසු සැකකරුවන් පිරිසෙන් බහුතරයක් ඩුබායිහීදී අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉරානය විසින් ඩුබායි රාජ්‍යයට එල්ලකළ ප්‍රහාර වීඩියෝගත කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම හේතුවෙන්ය.
ඒ අනුව ඔවුන් සතුව තිබූ මුදල් හා රන් භාණ්ඩ ඇතුළු සියලු දේ එරට ආරක්ෂක අංශ විසින් ඔවුන්ගේ භාරයට ගෙන ඇති අතර, පසුව ඔවුන් හැඳසිටි ඇදුමින්ම ගුවන් ගමන් බලපත්‍රය පමණක් ලබාදී මෙරටට එවා ඇති බව පොලිසිය පැවසීය.
පිටුවහල් කළ පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටින අතර, ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා ඔවුන්ට චෝදනා එල්ලවී ඇති පොලිස් ස්ථානවෙත ඊයේ (23) පස්වරුවේ භාරදී තිබේ.
