ඩොලරයේ අගය වැඩිවුණ හේතුව නියෝජ්‍ය ඇමති කියයි
May 22, 2026 01:34 pm
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් හෝ වැරදි තීරණයක් නොව මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්ව හේතුවෙන් හටගත් ගෝලීය අර්බුදයක ප්‍රතිපළයක් බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.
අද (22) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ ගෝලීයව මතුවූ අර්බුද හේතුවෙන් ඉන්ධන මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ යාම, ගෑස් සහ පොහොර මිල ගණන් මෙන්ම නාවික සහ රක්ෂණ ගාස්තුද සීඝයෙන් ඉහළ ගිය බවය.
පසුගිය කාලය තුළ ආනයනය කරන භාණ්ඩවල ඩොලර් මිල මෙන්ම අපනයනය කරන භාණ්ඩවලට ඩොලර් මිල වෙනස් වූ බවත් පැවසූ අමාත්‍යවරයා අපනයන කරන භාණ්ඩවල ඩොලර් මිලට වඩා ආනයනය කරන භාණ්ඩවල ඩොලර් මිල ගණන් ඉහළ යාමද මෙරටට ප්‍රධාන වශයෙන් බලපෑ බවද සඳහන් කළේය.
තවද ගෝලිය වශයෙන් ඩොලරය ස්ථාවර කර ගැනීම සඳහා මෙන්ම ඩොලරයට වැඩි ප්‍රතිලාභයක් ලබා දීමට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ඩොලර් සඳහා ඉල්ලුම වැඩිවී ඩොලරයට ආයෝජන විතැන්මේ ප්‍රවණතාවයක් දක්නට ලැබුණු බවත් මේ හේතුවෙන් අනෙකුත් මුදල් ඒකකයන්ට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
කෙසේ නමුත් පවතින තත්ත්වයන් තුළ ආණ්ඩුව කිසිදු ආකාරයකට ආර්ථිය හැකිලීමක් හෝ ආනයන සීමා කිරීමක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම පසුගිය මාර්තු සහ අප්‍රේල් මාස දෙක තුළ ඉන්ධන මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් එම මිල ගණන් අනුව මිලදී ගත් ඉන්ධන සඳහා මැයි මාසය තුළ ගෙවීමට නියමිතව ඇති බවත් පැවසූ අමාත්‍යවරයා මැයි මාසේ වන විට එය ඩොලර් මිලියන 521ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සඳහන් කළේය.
කෙසේ නමුත් එළැඹෙන 27 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරික 2ක් එකවර ලැබීමට විධායක අධ්‍යක්ෂක මණ්ඩලයට යොමු කර ඇති බවත් පැවසූ ඒ මහතා එම වාරික 2 ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවත් මිට අමතරව ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන් තවත් ඩොලර් මිලියන ගණනක් ලැබීමට නියමිත බවත් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා,
"ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නිසාවත්, වැරදි තීරණයක් නිසාවෙන් හෝ වංචාවක්, දූශණයක් දේශපාලන ප්‍රශ්නයක් ඒ කිසිවෙකින් තොරව විදේශයේ ඇතිවෙච්ච ගෝලීය තත්ත්වය, යුද තත්ත්වය මත තමයි මෙය නිර්මාණය වුණේ. එහි ක්ෂණික ප්‍රතිපළය විදිහට තෙල් මිල ඉහළ ගියා. අපිට තෙල් කියන එක නවත්වන්න බෑ. අපේ පරිභෝජනයට අවශ්‍ය වෙනවා. යම් ආකාරයක විදුලිය නිෂ්පාදනයටත් අවශ්‍ය වෙනවා, ගෑස් පොහොර ඒවා ආනයනය කරනවා. ප්‍රධාන වශයෙන් මෙහි මිල ඉහළ ගියා. ඒ වගේම මේ යුද තත්ත්වය නිසා නාවික ප්‍රවාහන ගාස්තු රක්ෂණ ගාස්තු ඉහළ ගියා, තෙල් මිල විශාල වශයෙන් ඉහළ ගිය අතර අනෙකුත් භාණ්ඩ, බෙහෙත් ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු මේ හැම එකකම මිල මේ ඩොලරය වැඩි වීම විසින් වැඩි කරලා තියෙනවා.
ඒ වගේම තමයි පහුගිය කාල පරිච්චයේදී සමස්ත ආනයනය කරන භාණ්ඩවලත් ඩොලර් මිලත් වෙනනම වැඩිවෙලා තියෙනවා. අපි අපනයනය කරන භාණ්ඩවල ඩොලර් මිලට වඩා මේ කාරණයත් බලපාලා තියෙනවා. ඊට අමතර මේ යුද තත්ත්වය ඇතුළේ සහ මේ ගෝලීය වශයෙන් භූ දේශපාලනය ඇතුළේ ඩොලරය ස්ථාවර කර ගැනීමටත් ඩොලරයට වැඩි ප්‍රතිලාභයක් ලබා දීමටත් ගත් ක්‍රියාමාර්ගයක් නිසාත් ඩොලරයට ඉල්ලුම වැඩිවෙලා ඩොලරය පැත්තට ආයෝජන විතැන් වීමේ ප්‍රවණතාවයකුත් තියෙන නිසා ඩොලරය ශක්තිමත් වෙලා තියෙනවා අනෙකුත් මූල්‍ය ඒකකයන්ට සාපේක්ෂව.
මේ සියලු කාරණා තුළ සමාජය ඇතුළේ මතුවුණා අනවශ්‍ය බියක් ආනයන තහනම් කරයි, වාහන ආනයනය සීමා කරයි, රට අර්බූදයකට යයි කියන එක. පළමු කොට මම කියන්න ඕනේ ආණ්ඩුව කිසිදු ආකාරයකට කිසිදු තීරණයක් ගෙන නෑ ආර්ථික හකුළවලා ආනයන සීමා කරලා තහනම් කිරීමක් කරන්න. කිසිදු ආකාරයක එහෙම තීන්දුවක් ගෙන නෑ. අපිට අවශ්‍ය කරන්නේ මේ ප්‍රශ්නයට උත්තර හොයන්න.
ඒ අනුව තමයි ආනයනවල වැඩි පෙළඹුමක් ආවා. ඉදිරියේදී ඩොලරය තවත් ඉහළ යයි, ආනයනය සීමා කරයි කියලා හිතන අය වැඩිපුර ආනයනය කරන්න ඩොලර් ඉල්ලුවා. ඊට අමතරව ඉන්ධන ආනයනයට වැඩිපුර ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය කළා. විශේෂයෙන්ම මාර්තු අප්‍රේල් ඒ මාස දෙකේ මිල ගණන් ඉහළ ගියා ඒ මිල ගණන්වලට ගත්තු ඉන්ධන තමයි අපි මැයි මාසයේ ගෙවන්න තියෙන්නේ. ඒ නිසා තමයි පෙට්‍රෝලියම් කෝපරේෂන් එක මිලියන 120-200 මිල ගෙවන්නේ. මැයි මාසේ වෙනකොට ඒ බිල ඩොලර් මිලියන 521 දක්වා වැඩිවෙලා තියෙන්නේ. මේ ඇති වෙච්ච තත්ත්වයන්.
ඒ අනුව ඩොලරයට ඉල්ලුම වැඩිවෙනවා. ඒ ඉල්ලුම සම්පාදනය කරන්න තියෙන සැපයුම සීමා වෙනවා මේ කෙටි කාලය ඇතුළෙදි. ඒ අනුව අසාමාන්‍ය විදිහට මේ තත්ත්වය ඉහළ ගිහිල්ලා ඊයේ වෙනකොට 350ත් ඉක්මවලා තියෙනවා.
සමාජය ගැන හිතන අයට මම සුබ ප්‍රවෘත්තියක් කියනවා. මේ වෙනකොට අන්තර් බැංකු විදේශ විනිමය වෙළෙඳපොළ තුළ මැදි අගය දැන් 330ට ඇවිත් තියෙනවා. ඉල්ලා සිටින රේට් එක ගැණුම්කරුවන්ගේ පැත්තෙන් 327යි විකුණන්නේ 332ට. මම හිතනවා අපි රට ගැන ආදරයක් තියෙන මිනිසුන්ට මේක සුබදායි ප්‍රවෘත්තියක්.
මැයි මාසේ 27 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරික 2ක් එකවර ලැබීමට විධායක අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කරලා තියෙනවා. අපිට දැඩි විශ්වාසයක් තියෙනවා ඒ වාරික දෙක අපිට ලැබෙයි කියලා ඩොලර් මිලියන 700ක වාරික දෙකක්. ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුවෙන් අපිට ඩොලර් මිලියන 480 දක්වා යන වැඩසටහනක් තියෙනවා. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක් ජූනි මාසේ අග වෙනකොට තියෙනවා සහ ඊට සම්බන්ධ තවත් ආයතනයක ඩොලර් මිලියන 50ක් ලැබෙනවා."
