දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට - විපක්ෂය සංශෝධන ගෙන ඒමට සැරසෙයි
May 19, 2026 07:29 am
පාර්ලිමේන්තුව අද (19) දිනයේ යළි රැස්වීමට නියමිතව තිබේ.
අද සිට ලබන 22වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
අද පෙරවරු 09.30ට ආරම්භ වන පාර්ලිමේන්තු දිනයේ දී දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.
හෙට (20) දිනයේ දී ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2025 වර්ෂය සඳහා නිකුත් කළ ආර්ථික සමාලෝචනය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර බ්‍රහස්පතින්දා දිනයේ දී ආනයන සහ අපනයන පාලන පනත යටතේ රෙගුලාසි ත්‍රිත්වයක් විවාදයට ගැනීමට නියමිතව තිබේ.
මැයි මස 22 වන දින අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත මඟින් මෙරට බදු ක්‍රමය සරල කිරීම අරමුණ වී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් මෙම බදු සංශෝධන පනත් කෙටුම්පත මඟින් බදු ගෙවීම් ප්‍රමාද වන පුද්ගලයින්ට එරෙහිව අපරාධමය නඩු පැවරීමට රජය උත්සහ දරමින් සිටින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා මහතා සඳහන් කළේය.
