දිට්වා නිසා පීඩාවට පත්වූවන්ට සහාය වීමට ඩිජිටල් වන්දි කළමනාකරණ පද්ධතියක්
May 18, 2026 08:29 pm
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, නෝර්වේ රාජ්‍යයේ මූල්‍ය ආධාර සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ සහ එක්සත් ජාතීන්ගේ ස්වෙච්ඡා වැඩසටහනේ සහයෝගය ඇතිව නිර්මාණය කළ, නවතම ඩිජිටල් වන්දි කළමනාකරණ පද්ධතිය සහ ප්‍රජා විමසීම් යාන්ත්‍රණය අද (18) නිල වශයෙන් ආරම්භ කර තිබේ.
මෙය දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට පත් ප්‍රජාවන්ට කඩිනම්, වඩාත් විනිවිද සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ප්‍රජා සහාය සේවා ලබාදීමේ ක්‍රියාවලියකි.
මෙම ඩිජිටල් පද්ධති ආරම්භ කිරීම, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ සහභාගීත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී සිදු කර තිබේ.
රජයේ නිලධාරීන්ට සහ ආපදාවෙන් පීඩාවට පත්වූ පවුල්වලට පරිපාලනමය දුෂ්කරතා අවම කරමින් කටයුතු කිරීම සඳහා මෙම වන්දි කළමනාකරණ පද්ධතිය නිර්මාණය කර ඇත.
විපතට පත් වූ අයට තම වසමේ ග්‍රාම නිලධාරිවරයා හරහා මාර්ගගතව, අන්තර්ජාලය ඔස්සේ වන්දි ලබා ගැනීමේ ඉල්ලීම් ඉදිරිපත් කළ හැක.
එමෙන්ම, අද ප්‍රජා විමසීම් යාන්ත්රණයද ආරම්භ කළ අතර මෙම විමසීම් යාන්ත්‍රණය ඔස්සේ ප්‍රජාවන්ට ඔවුන්ගේ විමසීම් ඍජුවම NDRSC වෙත ඉදිරිපත් කළ හැකි ය.
එම පද්ධතියට සතියේ දිනවල පෙ.ව. 9.සිට ප.ව. 4දක්වා, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ක්‍රියාත්මක 071 6 807 807 ක්ෂණික දුරකතන අංකය ඇමතීමෙන් හෝ ඊට අදාළ QR කේතය හරහා විමසීම් ඉදිරිපත් කළ හැකි ය.
මූලික සමාලෝචනයකින් පසුව, සෑම විමසීමක්ම, අවශ්‍ය පියවර ගැනීමට සහ පසු විපරම් සඳහා NDRSC හි අදාළ ජාතික හෝ ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන් වෙත යොමු කෙරේ.
සෑම විමසීමක්ම ඉදිරිපත් කිරීමේ දී, ඉදිරිපත් කරන්නාට අනන්‍ය වූ කේතයක් ලබා දෙයි.
ප්‍රජා විමසුම් යාන්ත්රණයට අදාළ QR කේතය හෝ ක්ෂණික ඇමතුම් දුරකතන අංකය ඔස්සේ මෙම අනන්‍ය වූ කේතය ඉදිරිපත් කර ඔවුන්ගේ විමසීම්වල ප්‍රගතිය බලාගත හැකි ය.
මෙම ප්රයත්නය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය ප්‍රමුඛතා සැලසුම් වැඩසටහනේ කොටසක් ලෙස ක්‍රියාත්මක වේ.


