කාලගුණයෙන් හානි වූ වගා බිම් සඳහා වන්දි
May 18, 2026 01:52 pm
පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග හානි වූ වගා බිම් සඳහා වන්දි ලබා දීමේ ක්‍රමවේදය කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා සිදු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මේ වන විටත් එම වගා හානි සම්බන්ධව තොරතුරු එක්රැස් කරමින් පවතින බවත් ඒ අනුව ගොවීන්ට සිය වගා හානි සම්බන්ධව තොරතුරු අදාළ නිලධාරීන් වෙත ලබා දිය හැකි බවත්ය.
"ඊයේ පෙරේදා වර්ෂාවක් ඇවිල්ලා යම් යම් වගාබිම් හානි වෙලා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව අපි කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් සහ අනෙකුත් දෙපාර්තමේන්තු මගින් පණිවිඩ දීලා තියෙනවා සති දෙකක් ඇතුළත ඒ හානි වෙච්ච සියලුම වගාවන් වාර්තා කරන්න ඒ අනුව අපේ නිලධාරීන් ඊට අදාළ මැදිහත් වෙමින් සිටිනවා ඒ හානි වෙච්ච කුඹුරුවල ගොවීන්ගේ තොරතුරු ආවාට පස්සේ කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා ඒ ගොවි ජනතාවට කෙටි කාලයක් ඇතුළත වන්දි ලබා දීමේ කටයුතු අපි අවසන් කරනවා. ඒ නිසා ගොවි ජනතාවගෙනුත් අපි ඉල්ලා සිටිනවා තමන්ගේ වගාබිම් හානි වුණානම් අපේ නිලධාරීන් හරහා තමන්ගේ තොරතුරු ටික වහාම අපි වෙත ලැබෙන්න සලසන්න කියන එක."
මෙම වන්දි ලබා දිමේ ක්‍රියාවලිය සම්බන්ධව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහආරච්චි මහතාගෙන් අද දෙරණ සිදුකළ විමසීමකදි පැවසුවේ අදාළ තොරතුරු මත කඩිනමින් වන්දි ලබා දීමට පියවර ගන්නා බවය.
ඒ අනුව අදාළ තොරතුරු මත නිලධාරීන් විසින් එම හානි වූ වගාවන් නිරීක්ෂණය කරන බවත් පැවසූ ඒ මහතා ඒ අනුව සිදුව වගාවේ සිදුව ඇති හානි ප්‍රමාණය මත වන්දි ගෙවීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.
