වසර පහකට පසුව පොලිස් නිලධාරීන්ට ලැබෙන උසස්වීම්
May 17, 2026 09:09 am
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට ලබා නොදුන් උසස්වීම ඉතා කඩිනමින් ලබාදෙමින් සිටින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් මුහුණ දෙන ගැටලු සහ ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
පොලිස් සේවය, ගුණාත්මක වශයෙන් සහ ඉහළ වෘත්තීමය සේවයක් වශයෙන් ඉදිරියටත් වර්ධනය කිරීම සඳහා මේ දක්වා රජය ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය.
ඒ අනුව වර්තමානයේ පොලිස් ස්ථානයන්හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.
පොලිසිය තුළ පවතින මානව සම්පත් හිඟයට විසඳුමක් ලෙස 10,000ක නිලධාරීන් පිරිසක් බඳවා ගැනීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මකව ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පැවසීය.
