දුම්රිය පිලී පැනීම ගැන පරස්පර කතා

දුම්රිය පිලී පැනීම ගැන පරස්පර කතා

May 16, 2026   06:45 pm

වනවාසල සහ කැලණිය අතර දුම්රිය මාර්ගයට කිසියම් පුද්ගලයෙකු විසින් හානි සිදු කිරීම අද (16) උදෑසන සිදු වූ දුම්රිය පීලි පැනීමට හේතු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පත් කළ කමිටුව හරහා සිදු කළ විමර්ශනයේදී මේ බව අනාවරණය වී ඇති බව දුම්රිය ගමනා ගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසූවේය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ විමර්ශනවලදී දුමිරිය මාර්ගයේ යකඩ කොටස් ගලවා රැගෙන යාමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

සිද්ධිය අදාළව තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන සිදු කරන බව සඳහන් වේ. 

අද (16) අළුයම පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා ධාවනය වූ දුම්රිය වනවාසල හා කැලණිය අතර දුම්රිය මාර්ගයේදී පීලි පැනීමකට ලක්ව තිබුණි.

එහිදී දුම්රියේ මැදිරි 03ක් පීලි පැනීමකට ලක්ව තිබූ අතර, ඉන් එක් මැදිරියක් සම්පූර්ණයෙන්ම මාර්ගයෙන් ඉවතට පෙරලීගොස් තිබූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මෙම අනතුරින් දුම්රිය මගීන් 10දෙනෙකු තුවාල ලබා තිබූ අතර ඉන් පස් දෙනෙකු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද සඳහන්..

මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වන දුම්රිය ගමනා ගමන අධිකාරී අසංක සමරසිංහ මහතා,

"මේ පීලි පැනීම සිද්ධවෙලා තියෙන ස්ථානය තියෙනවා කොළඹ ඝන අපද්‍රව්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයට හදපු දුම්රිය මාර්ගයක්.. එතන ප්‍රධාන මාර්ගයෙන් වෙන්ව බිඳීයන මාර්ගයක් තියෙනවා. අන්න ඒ බෙදී යන ස්ථානයේ තමයි මේ පීලි පැනීමට ලක්වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමෙන් පරීක්ෂණ කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. ඒ වගේම මෙම පීලි පැනීමට හේතුව පිටස්තර පුද්ගලයෙක් මාර්ගයේ තිබ්බ කොටස් ගලවාගෙන යාම. ඒක සම්බන්ධයෙන් ඒ අදාල පුද්ගලයා මේ වෙද්දි ශ්‍රී ලංකා පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. පොලිසිය විසින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. දෙපාර්තමේන්තු මට්ටමෙන් දෙපාර්තමේන්තුවෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. මේ වෙද්දි පීලිගත කිරීම් අවසන් වෙලා තියෙනවා. ඒ වගේම දුම්රිය දැන් තව ස්වල්ප වේලාවකින් පීලි පැනපු දුම්රිය කොළඹ බලා ධාවනය කිරීම සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ හානියට පත් වෙච්ච මාර්ගය තවත්වන්න. ඒකත් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා."

කෙසේ වෙතත් දුම්රිය මාර්ග නිසි පරිදි නඩත්තු නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ලොකෝමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක මහතා පැවසුවේය.

එහිදී අදහස් දැක්වූ එස්.ආර්.සී.එම් සේනානායක මහතා,

"මාර්ගයේ තත්ත්වය විශේෂයෙන් දැනගන්න පුළුවන් හොඳම පුද්ගලයා තමා දුම්රිය එන්ජින් රියදුරුවරයා. මොකද, නියමිත ගමන් වාර දිනක් තුළ ධාවනය වුණායින් පස්සේ මාර්ගයේ නියමිත තත්ත්වය දැනගන්න පුළුවන් හොඳම ක්‍රමය තමා දුම්රිය රියදුරන්ගේ මේ සම්බන්ධයෙන් විමසන එක. බොහෝ අනතුරු වළක්වාගෙන තියෙනවා, බොහෝ සංඥාවල දෝෂ දුම්රිය රියදුරන් හඳුනාගෙන ඒවා දැනුම් දීලා වළක්වාගෙන තියෙනවා. මේ සිදුවීමත් වෙන්න කලිනුත් අද උදෑසනත් එතන සංඥාවක ගැටලුවකුත් දුම්රිය රියදුරුවරයෙක් අපේ දැනුම් දීලා තියෙනවා. මේවා හරියාකාරයෙන් කරලා මේ අදාළ බලධාරීන් මේ දුම්රිය එන්ජින් රියදුරන් සමඟ මේ සාකච්ඡාවක් ගොඩනගා ගන්නේ නැති එකේ ඔය ගැටලුවක් අපි දිගින් දිගටම සඳහන් කරලා තියෙනවා. අපි හිතන්නේ නෑ මේක මෙතනින් නවතියි කියලා මොකද, මේ මාර්ගවල තත්ත්වය ඉතාමත් අනතුරුදායක තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව මේ දුම්රියවල තත්ත්වයත් ධාවනයට නුසුදුසු තත්ත්වයන්වල තමා මේ දුම්රියන් තියෙන්නේ. එතකොට මේවා මේ ධාවනයට යොදවලා මේ වෙන දේවල්වලින් සෑහෙන ගැටලුකාරී තත්ත්වයන් ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්."

"වනවාසල දුම්රිය ස්ථානයේදී මේ දුම්රිය නවතලා නැවත ගමන් ආරම්භ කරපු සැනින් තමා මේ දුම්රිය පීලි පැනීමට ලක්වෙලා තියෙන්නේ. වේගය පැයට කිලෝමීටර් 10කට 20කට ආසන්න ප්‍රමාණයකට තියෙන්න ඇති. සාගරික දුම්රිය පීලි පැනපු අවස්ථාවේදී දෙපාර්තමේන්තුවේ පැත්තෙනුත් ලොකු කතන්දරයක් ගියා මේ දුම්රිය වේග වැඩියි, මේ සම්බන්ධය ගැටලු තියෙනවා කියලා. නමුත් දැන් මෙතන පැයට කිලෝමීටර් 20කටත් අඩු වේගයකින් ධාවනය කරන දුම්රියක් පීලි පැන්නහම වෙන තත්ත්වය අද ඕගොල්ලොන්ට දැකගන්න තියෙනවා. දිගින් දිගටම මේ සම්බන්ධයෙන් අපි දැනුවත් කරමින් පවතිනවා. වසර ගණනාවක් තිස්සේ මේ මාර්ග කටයුතු හරියාකාරයෙන් සිදු කරන්න කියලා අපි ඉල්ලීම් කරලා තියෙනවා, නමුත් ඒ කිසි දේකට නියමිත පරිදි අදාළ බලධාරීන්, පාලනාධිකාරිය ඇහුම්කන් දෙන්නේ නෑ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමා මේ සිද්ධියත් වෙලා තියෙන්නේ."

එමෙන්ම මේ සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සුමේද සෝමරත්න මහතා ද අදහස් පළ කළේය.

"මේ වෙනකොට මගියාට දුම්රිය ගමන පිළිබඳව බරපතල ගැටලුවක් තියෙනවා. මේ සඳහා විසඳුම් අපිට පේන්නේ නෑ දෙපාර්තමේන්තු මට්ටමෙන් හරියාකාරව සිද්ධ වෙනවා. අමාත්‍යවරයා විවිධ කතා කිය කියා ගියාට පැහැදිලි දෙයක් නෑ. අවම තරමෙන් මෙහෙම නම් මගී ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මගියාට සුවිශේෂී රක්ෂණාවරණයක්වත් දෙන තැනකට ඉදිරියේදී කටයුතු කරන්න කියන යෝජනාව අපි රජයට කරනවා. හැමදාම සිද්ධ වුණේ අටුව කඩලා පුටුව හදන එක. අපි මේක දිගින් දිගටම කිව්වා මේ ක්‍රමවේදයෙන් බැහැර වෙන්න, නිවැරදි ආකාරයට මේවා නඩත්තු කිරීම් කරන්න කියලා නමුත් ඒක සිද්ධ වෙලා නෑ. අද මේ වෙනකොට කියන්න කනගාටුයි, අද අටුවත් නෑ පුටුවත් නෑ තැනකට තමයි දෙපාර්තමේන්තුව පත් වෙලා තියෙන්නේ. ඇමතිතුමයි නියෝජ්‍ය ඇමතිතුමයි පීල්ලට වැටිලා ඇති නමුත් මගීන් සහ සේවකයෝ අපි පීල්ලෙන් එළියට වැටිලා තියෙන්නේ."