පරිගණක අපරාධවලට සම්බන්ධ විදේශිකයින් පිරිසක් රිමාන්ඩ්
May 12, 2026 10:15 pm
පරිගණක අපරාධ ජාලයකට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ විදේශිකයින් පිරිසක් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ එම සැකකරුවන් අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
එහිදී ගාල්ල වරාය පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 09 දෙනෙකු එළැඹෙන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අධිකරණය දොඩන්දූව ප්රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 55 දෙනෙකු එළැඹෙන 20 වැනි දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් නියෝග කළේය.
එමෙන්ම සිද්ධියට අදාළ ගාල්ල පොලීසියෙන් ඉදිරිපත් කළ සෙසු සැකකරුවන් පිරිස පුද්ගලික ඇප මත මුදා හැරීමටද අධිකරණය නියෝග කළේය.
හික්කඩුව පොලිස් වසමට අයත් දොඩංදූව ප්රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 55 දෙනෙකු ගාල්ල පොලිස් වසමෙන් 110 දෙනෙකු සහ ගාල්ල වරාය පොලිස් වසමෙන් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
ප්රදේශ කිහිපයකදී සිදුකළ වැටලීම්වලින් අත්අඩංගුවට ගත් ඉන්දිය හා නේපාල සැකකරුවන් පිරිසක් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
ගාල්ල සහ ගාල්ල වරාය යන පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් පිරිස ගාල්ල ප්රධාන මහේස්ත්රාත් සමීර දොඩංගොඩ මහතා හමුවට ඉදිරිපත් කෙරුණු අතර හික්කඩුව දොඩන්දූව ප්රදේශයෙන් අත්අඩංගුවට ගත් පිරිස ගාල්ල අතිරේක මහේස්ත්රාත් මහේෂිකා විජේසිංහ මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
