ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට උපදෙස් මාලාවක්

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට උපදෙස් මාලාවක්

May 12, 2026   05:41 am

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය හා සිසුන් ස්ත්‍රී පුරුෂභාවය වැනි ලිංගිකත්වය මත පදනම් වූ හිරිහැරයන්ට හා ලිංගික හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා වූ ප්‍රතිපත්ති බලාත්මක කිරීමට සුදුසු පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම විශ්වවිද්‍යාලයට සහ එහි පාලක සභාවට උපදෙස් නිකුත් කර තිබේ.

වෛද්‍යවරියක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ප්‍රියන්ත ප්‍රනාන්දු, අචල වෙංගප්පුලි යන විනිසුරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

පෙත්සම්කාරිය අදාළ විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍යවරියක් වශයෙන් සේවය කරන අතර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් වශයෙන්ද කටයුතු කරන බව තීන්දුවේ සඳහන් වේ. 

පෙත්සම්කාරිය කථිකාචාර්යවරියක් වශයෙන් පරිවාස කාල සීමාවේ කටයුතු කරන අවස්ථාවේ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කාරිය  අදාළ වෛද්‍ය පීඨයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටි අවස්ථාවේ පළමුවන වගඋත්තරකාර මහාචාර්යවරයාගේ අධීක්ෂණය යටතේ ඇය කටයුතු කර තිබේ. 

එහිදී 2017 වසරේ ජුලි මස 01 වනදා සහ 2018 වසරේ අප්‍රේල් මස 30 වන දා දක්වා කාල සීමාව තුළ පෙත්සම්කාරිය ලිංගික හිරිහැර සහ මානසික හිරිහැරවලට භාජනය වූ බව සඳහන් කරමින් ඇයගේ මව විසින් වග උත්තරකාර මහාචාර්යවරයාට එරෙහිව එම විශ්වවද්‍යාලයේ උප කුලපතිවරයාවෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 

ඒ අනුව එම චෝදනාව විභාග කිරීම සඳහා 2018 වසරේ සැප්තැම්බර් මස 26 වනදා විශ්වවිද්‍යාලයේ උපකුලපති විසින් පරීක්ෂණ කමිටුවක් පත් කරනු ලැබීය.

වගඋත්තරකාර මහාචාර්යවරයාට එරෙහි චෝදනා විභාග කළ එම කමිටුව ඇතැම් චෝදනාවලට ඔහු වරදකරු කළ බව තීන්දුවේ සඳහන් වුණි.

පසුව එම කමිටු වාර්තාව විශ්ව විද්‍යාලයේ පාලක කවුන්සිලයට ඉදිරිපත් කළ අතර  එම කවුන්සලය විසින් එය  2020 වසරේ මැයි මස 30 වනදා ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කර තිබූ බවත් තීන්දුවේ සඳහන් වුණි.

පසුව මෙම තීරණයට එරෙහිව පෙත්සම්කාරිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළ අතර ඉන් පසුව තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණි. 

පෙත්සම් විභාගයේ දී මූලික විරෝධතා මතුකළ වගඋත්තරකරුවන් පෙත්සම්කාරිය මුල් අවස්ථාවේදී තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට නොපැමිණි බැවින් ඇයගේ ඉල්ලීම කාලාවරෝධී වී ඇති බව ප්‍රකාශ කර තිබුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ජනක් ද සිල්වා මහතා කියා සිටියේ, වගඋත්තරකරුවන් ඉදිරිපත් කරන එම මූලික විරෝධතාවය අධිකරණය විසින් පිළිගැනීමට බල කෙරුණද සාධාරණ යැයි හැඟෙන නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් පවතින බවය. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) උ ව්‍යවස්ථාව ප්‍රකාරව ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති රැකියාවක නිරත වීමට මූලික අයිතිය තහවුරු කර ඇති අතර ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව එම අයිතිය භුක්ති විඳීමට හැකියාව පවතින බව පෙන්වා දුන් විනිසුරුවරයා එවැනි ක්‍රියාවක නිරත වීමේදී ලිංගික හිංසනයන්ට භාජනය නොවී සිටීමට පරිසරයක් තිබිය යුතු බවත් පැවසුවේය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම විශ්වවිද්‍යාලයට සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට උපදෙස් කිහිපයක් නිකුත් කළේය. 

ඒ අනුව පළමු වන වගඋත්තරකාර මහාචාර්යවරයා ඕනෑම විශ්වවිද්‍යාලයක අධ්‍යාපන ආයතනයක හෝ වෙනත් අධ්‍යාපන ආයතනයක වැටුප් ලබන හෝ වැටුප් රහිත ගෞරවනීය තනතුරක් පිළිගැනීම තහනම් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් උපදෙස් දී තිබේ.

එමෙන්ම වැටුප් සහිත හෝ වැටුප් රහිත හෝ ගෞරවනීය පත්වීමක් වගඋත්තරකාර මහාචාර්යවරයාට ලබාදීමෙන් වැළකී සිටීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, සියලුම විශ්වවිද්‍යාල සහ එම විෂය පථයට අයත් අනෙකුත් ආයතන වෙත අධිකරණය විසින් තවත් උපදෙසක් නිකුත් කර තිබේ. 

ඊට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය හා සිසුන් ස්ත්‍රී පුරුෂ භාවය වැනි ලිංගිකත්වය මත පදනම් වූ හිරිහැරයන්ට ලිංගික හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා වූ ප්‍රතිපත්ති බලාත්මක කිරීමට හා දැනුවත් කිරීමට සුදුසු පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම විශ්වවිද්‍යාලයේ පාලක සභාවට වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.