උඩවලව ජලාශයෙන් රුපියල් කෝටියකට අධික මිරිදිය මත්ස්‍ය අස්වැන්නක්

උඩවලව ජලාශයෙන් රුපියල් කෝටියකට අධික මිරිදිය මත්ස්‍ය අස්වැන්නක්

May 11, 2026   08:17 pm

උඩවලව ජලාශයෙන් පසුගිය මැයි 09 සහ 10 යන දින දෙක තුළ පමණක් කිලෝග්‍රෑම් 35,000ට වැඩි අතිවිශාල මත්ස්‍ය අස්වැන්නක් ලබාගත් බව ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පවසයි. 

එහි වටිනාකම රුපියල් එක්කෝටි නව ලක්ෂ නව දහස් තුන්සිය අනූ තුනකි. 

බලන්ගොඩ ඇතුළු උඩවලව ජලාශයේ ඉහළ පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ වලවේ ගඟේ ජල මට්ටම ඉහළ යාම මෙම වාර්තාගත අස්වැන්න ලැබීමට ප්‍රධාන හේතුව වී ඇත. 

එහිදී කැට්ලා කිලෝග්‍රෑම් 27,030ක්, මිරිගාල් කිලෝග්‍රෑම් 7,430ක් සහ තිලාපියා කිලෝග්‍රෑම් 1,009ක් ඇතුළත් බව ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සඳහන් කළේය. 

මෙම මසුන්ගෙන් සැලකිය යුතු තොගයක් කරවල නිෂ්පාදනය සඳහා මීගමුව ප්‍රදේශය වෙත යැවීමට පියවර ගෙන ඇත. 

මෙමගින් ප්‍රදේශයේ ධීවර කාර්මිකයින් 313 දෙනෙකුට ඍජු ආර්ථික ප්‍රතිලාභ හිමි වූ අතර, තවත් පුද්ගලයින් 1,650කට පමණ වක්‍ර රැකියා අවස්ථා උදාවිය. 

අඩු මුදලකට ගුණාත්මක සහ නැවුම් මිරිදිය මසුන් පාරිභෝගිකයාට ලබාදීමට හැකිවීමත්, ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරාලීමටත් හැකිවී ඇති බව එම අධිකාරිය සඳහන් කළේය. 

මිරිදිය ධීවර කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, මෙම වසර තුළදී මුළුමනින්ම උඩවලව ජලාශය තුළ මිරිදිය මත්ස්‍ය පැටවුන් ලක්ෂ 24ක් තැන්පත් කිරීමට ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත.